සාමන්‍යයෙන් ලංකවේ වීදි පිරිසිදු කරන්නන් හා කරන්නියන්තට හිමි වෙන්නෙ මොන වගේ ස්ථානයක්ද? වීදි පිරිසුදු කිරීම නැත්නම් නගර සභාවේ අපද්‍රව්‍ය ඉවතලන අංශයට අපි සලකන්නෙ කොහොමද?ඔවුනුත් ඔබ වගේම රැකියවක නියලෙන්නේ..ලාභ උපයන රැකියාවක නෙමෙයි..රටට සේවයක් සපයන රැකියාවක..
යම්කිසි පුද්ගලයෙක් නගර සභාවේ කිව්වම කිසිම කෙනෙක් ගනන් ගන්නෙ නෑ නෙද?සමහර මිනිස්සුනම් පිලිකුල් කරන අවස්ථාත් මන් නම් පෞද්ගලිකව දැකල තියෙනවා.එහෙම පිලිකුලෙන් හෙලා දකින්න ඕන රැකියවක් නෙමයි වීදි පිරිසිදු කරනව කියන්නේ..
ඔබ නිකමට හරි එහෙම වීදි පිරිසිදු කරන කෙනෙකුට ස්තූතියි කියල තියෙනවද?තමන් හිතින් හරි මේ කරන්නෙ සේවයක් නේ කියල හිතල තියෙන්වද? නෑ නේද? ලංකාවේ මොන තරම් අපිරිසිදු ප්‍රදේශ තියෙනවද?සාමන්‍ය පොදු ස්ථානයකට ගියත් අපිරිසිදු තැන් කොච්චර තියෙනවද? ඒ තැන් අපිරිසිදු වෙලා තියෙන්නෙ ඉබේම නෙමෙයිනෙ.අපි අපරික්‍ෂාකාරීව අනිසි තැන් වල කැලි කසල බැහැර කරන නිසා තමයි ඒ තැන් අපිරිසිදු වෙලා තියෙන්නේ.එහෙම නැතුව වෙන රටක කෙනෙක් ඇවිත් කැලි කසල බැහැර කරල යන එකනම් වෙන්න බැරි වැඩක් නේ..අපි පොඩි කාලෙ ඉඳලා අපේ වටපිටාව පිරිසිදුව තියාගන්න පුරුදු උනානම්,
අපි යන යන තැන් වල කුනු නොදමා අදාල තැන් වල පමනක් කැලි කසල බැහැර කරානම් මේ තරම් අපිරිසිදු උන තැන් තියෙන්න විදිහක් නැ නේද?
ලංකාව කියන්නෙ තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්..ලංකාවේ වීදි පිරිසිදු කරන අයගෙ රැකියාව පහත් විදිහට සැලකුවාට දියුනු නැත්නම් සංවර්ධනය උන රටවල් වල නම් එහෙම නැ..
උදහරනයක් විදිහට ජපානය ගැන සිතමු..
මේ මගේ ලඟම යහලුවෙක් ජපානයේදි ලබපු අත්දැකීම්..
(ඇගේ වචනයෙන්ම ඉදිරිපත් කරන්නම්)
සුපුරුදු පරිදි පන්ති සියල්ල අවසන් වී පිරිසිදු කිරීමේ රාජකාරියේ මම නිරතව සිටියෙමි. මෙරටේ පිරිසිදු කිරීම් කටයුතු වලදී ගුරුවරයා අණදෙන්නා නොවී දරුවන් සමඟ එකට එක්වී පිරිසිදු කරන්නේය. එය දිනපතා සිදුවන්නකි.
මාද නිරතව සිටියේ එම රාජකාරියේමය. එහායින් ඇසුණේ ගුරුවරියක ජපන් බසින්;
ගුරුවරිය: අද හොඳට වැඩ කළා නේද? පන්තියේ හොඳ ළමයෙක් වගේ හිටියනේ..එහෙනම් අපි පන්ති වල තියෙන කුණු ටික එකතු කරමුද?
පස් හැවිරිදි කුඩා ළමුන් තිදෙනෙක්: ඕකේ… අපි යමු..
ඒ කුඩා සංවාදය අසාගෙන සිටි මට එක්වරටම මතකයට නැගුනේ අපේ පාසල් කාලයයි. සියලු ගුරුවරු නොවුනත් බහුතරයක් ගුරුවරු අපිට යම් දෙයක් පිරිසිදු කරන්න පවසන්නේ අප වැරදි වැඩක් කල විටදි නේද? එක්කෝ පාසලට පරක්කු වෙලා එද්දි වල් ගලවන්න කියයි නැත්නම් ටොයිලට් හෝදන්න කියයි..ඔහොම මොකක් හරි “දඬුවමක්”….
ඇයි මම මේ “දඬුවම” කියන වචනේ මෙහෙම විශේෂ කරලා ලිව්වේ.. ඔව් අපේ පාසල් වල පිරිසිදු කිරීම අපට පෙන්නුවේ ඍණාත්මක දෙයක් විදිහට..වැරැද්දක් කරලා දෙන දඬුවමක් විදිහට.
එහෙත්..මෙරටේ..එනම් ජපානයේ පිරිසිදු කිරීම දරුවන් ඉදිරියේ දිගහැරලා පෙන්වන්නේ ගුරුවරුන් සමඟ එකට එක්වී කළ හැකි ගෞරවාන්විත වැඩක් විදිහට..හරියට නිකං ඒ ළමයට ලැබුණ තෑග්ගක් විදිහට.. ඒ වගේම තමයි වැඩේ ඉවර උනාට පස්සේ ඒ ළමයින්ට මුව නොසෑහෙන්න ස්තූති කරනවා.
මෙයින් මට කියන්න අවැසි වූ දේ නම් යම් දෙයක් අපිට කාලයක් තිස්සේ පෙන්වන ආකාරය මත කියලා දෙන ආකාරය මත අපි එදෙස බලන අයුරු වෙනස් වනවා යන්නයි. මේ සිද්ධිය ගත් කල පිරිසිදු කිරීම අප කුඩා කල සිටම ඉගෙන ගත්තේ වැරැද්දකට දඬුවමක් විදිහට. එය අප මැරෙන තුරුම දකින්නේ ඒ විදිහට.
නගර පිරිසිදු කරන්නන් පෙන්නලා අපේ දෙමාපියන් අපට කීවේ හොඳට ඉගෙන ගත්තෙ නැති උනොත් අර වගේ තමයි වෙන්නෙ කියලා. කරන්නේ වංචාවක්, හොරකමක්, මිනීමැරුමක් නොවේ නම් එයද ගෞරවයට ලක් විය යුතු රැකියාවක් නොවේද?
එහෙත් මෙරටේ කුඩා දරුවන් කුණු එකතු කරන්නන්ට ඔලුව නමලා ආචාර කරන්නේ කරන සේවයට ස්තූති කරලා. අපි කුඩා කල හෙලිකොප්ටරයේ සද්දෙ ඇහුනම එය පෙනෙන මානයට යනවා වගේ මෙහි දරුවන් කුණු ලොරියේ සද්දෙ ඇහුනොත් පෙනෙන මානයට ගිහින් ස්තූති කරලා එනවා.
ඒ අයුරින් පැවත එන ගති සිරිත් ඔවුන් වැඩිහිටි වූ පසුවද අමතක කරන්නේ නැත. අමුතුවෙන් මතක තියා ගත යුතුද නැත. ඒ ඔවුන් පුරුදු පුහුණු වූ ආකාරයයි.. වැඩිහිටි වූ පසුවද යමෙකු පිරිසිදු කිරීමක නිරත වී සිටියදී ආයතන ප්‍රධානියා පවා ඒ අසලින් ගියහොත් හිස නමා ස්තූති කරන්නේය. එය මාද අසා ඇත, අත්දැක ඇත.
තමන්ගේ කුණු තමන් විසින්ම පිරිසිදු කරගැනීම දඬුවමක් හෝ ඍණාත්මක දෙයක් නොවේ. ගෞරවාන්විත පුරවැසියකුගේ සමාජ වගකීමකි. තැනකට ගියද එතන අපිරිසිදු නොකර පා සටහන් පමණක් ඉතිරි කර පැමිණීම ගෞරවාන්විත සමාජ වගකීමකි..
මේ සිදුවීම මට නම් පෞද්ගලිකව හිතන්න බොහෝ දේ ඉතුරු කරා..යමක හොඳ නරක තරනය වෙන්නෙ අපි දකින කෝනය අනුව..ඉතින් සිතන්නත යමක් ඉතුරු කරමින් ම මේ ලිපිය නිමා කරන්නම්..