හරියටම උදේ 8.30ට බදුලු කෝච්චියට කොටුවෙන් නැග්ගේ මාස හතර පහක්ම කොන්ක්‍රීට් කැලේකට වෙලා ඉඳල එපාම වෙච්ච වෙලේක. වැකේෂන්… ඔව් මං ආසම කරන එකම දේ ඒක කිව්වොත් මං කීයටවත් වැරදි නෑ කියල මට තේරෙනවා… කැම්පස් එකේ එසයිමන්ට් අස්සෙ ලෙක්චර්ස් අස්සෙ හිරවෙලා ඉඳල හිත හරිම සැහැල්ලුවකට අරන් යන්න පුළුවන් එකම ගමන බදුලු කොච්චි ගමනම විතරයි.. පැය 12ක් ගියාට ඒක අර මාස හතර පහක් හිර කරන් හිටපු පට්ට ස්ට්‍රෙස් එකක් හරිම අමුතු විදිහට අයින් කරල දානවා.. ඒක බස් එකේ පැය 5ක් 6ක් ඉක්මනට ආවම දැනෙන් නැත්තෙ සමහරවිට මේ තනිකමට තනියම එන ගමනට මං ඇබ්බැහි වෙලා තියන හින්දම වෙන්න පුළුවන්..
ටිකෙන් ටික කොළඹින් ඈත් වෙලා.. නුවරට කිට්ටු කරනකොට හිතේ තියන ප්‍රශ්න කෝච්චියේ ජනේලෙන් එළියට විසි වෙලා යන අපූරුව හරිම ආදරනීයයි.. නුවර පහු කරන් එනකොට මට දැනෙන්නෙ මාව දිව්‍යලෝකෙකට අරන් යනව වගේ.. ඒක කියාගන්න බැරි තරම්ම ආදරනීයයි..
හවස් වෙන්න බණ්ඩාරවෙල පහු කරනකොටම කොළඹ රස්නෙන් බැට කකා හිටපු මට මං එහේ හිටියද කියන එක පවා අමතක කරවන්න පුළුවන් තරම්ම සහනයක් මේ ගමනෙ මට තියනව…
සීතල ඇඟ හරහා විදගෙන යනකොට.. මං ආයෙ ආයෙමත් මේ ගමනට ඇබ්බැහි වෙනවා…
ආදරේ කියන්නෙම හිතේ තියන ඒ ලස්සන හැඟීමට වෙන්න ඇති.. පරිසරේ කියන්නෙම ඒ ආදරේදි අපි අපි එක්කම බන්ධවන අමුතුම මායාකාර බන්ධනයක්..
©මාධව චතුර