ථෙරගාථා

by | දෙසැ. 7, 2021 | විචාර | 0 comments

Madushika Dayarathne

Madushika Dayarathne

Author

පාලි සාහිත්‍යය ලෙස සම්භාවනාවට පාත්‍ර වන ත්‍රිපිටකය සූත්‍ර, විනය සහ අභිධර්ම වශයෙන් ප්‍රධාන කොටස් තුනකින් යුක්ත ය. ඒ අතරෙන් සූත්‍ර පිටකයට අයත් මූලික ග්‍රන්ථ පහකි- ඒ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය වශයෙනි. ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථ ගණන 15ක් වන අතර එයින් අටවැන්න ථෙරගාථාව යි.

නිර්වාණය සාක්ෂාත් කළ ස්ථවිරයන් වහන්සේලා එනම් බෞද්ධ භික්ෂූන් විසින් දේශනා කරන ලද උදාන වාක්‍ය නොහොත් ප්‍රීතිය සොම්නස පිරුණු ප්‍රකාශ ථෙරගාථාවන්හි ඇතුළත් වේ. විමුක්ති සුවයෙන් අතිශයින් ප්‍රීති ප්‍රමුදිත වූ උන්වහන්සේලාගේ මුවින් නිකුත් වූ ගීතාත්මක ප්‍රකාශන වශයෙන් ද, සිය අරමුණෙහි උච්චස්ථානය කරා ගමන් කළ මහාත්ම පුද්ගලයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය මුදුන් පමුණුවා ගැනීම පිළිබඳ ජය ඝෝෂා වශයෙන් ද මේවා හැඳින්වේ. ඒ අනුව සංසාරයෙහි යථා ස්වභාවය ඒ අයුරින් ම අවබෝධ කර උත්පත්තිය හා මරණය ජයගත් ස්ථවිරයන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ උදාන වාක්‍ය ඇතුළත් වීම ථෙරගාථාවන්හි ප්‍රධාන ලක්ෂණය යි.

මෙකී ගාථාවන්හි ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය, ආත්ම විජයග්‍රහණය සහ පරම ශාන්තියේ සොම්නසේ දෝංකාරය පිළිබිඹු වෙයි. බොහෝ ගාථාවලින් නිර්වාණය ප්‍රාප්ත කිරීම ඍජුව ම සංකේතවත් කෙරේ. ගාථා කිහිපයක ම නිර්වාණය සාක්ෂාත් කරගැනීම විෂයයෙහි පුද්ගලයා මෙහෙය වන මාර්ගය ඉදිරිපත් වෙයි. අනෙකුත් ගාථාවල නිර්වාණය සාක්ෂාත් කළ ස්ථවිරයන් වහන්සේලා විසින් සබ්‍රහ්මචාරීන්ට එසේත් නැතිනම් ජන වර්ගයාට ලබාදුන් උපදේශ පිළිබඳ සඳහන් වේ.

ථෙරගාථා මගින් බුදුන් වහන්සේ විසින් පිහිටුවන ලද සංඝ සමාජයේ චිත්‍රණයක් අපට හමුවේ. මෙහි එක් පසෙකින් දුගී දුප්පත්හු ද තවත් පසෙකින් කපිලවස්තු, දෙව්දහ, විශාලා, රජගහ, ශ්‍රාවස්තිය, පාවා යනාදි රාජධානිවල රාජ මන්දිරවලින් නික්මුණු රජවරු, යුවරජවරු, රාජකුමරු සහ රාජ්‍යමන්ත්‍රීවරු ආදි උසස් වංශිකයෝ ද වෙති.

ඒ සියලු දෙනා ම තථාගතයන් වහන්සේ සරණ යාමෙන් පසු උස් පහත් භේදයෙන් තොර ව සමාන පුද්ගලයෝ වූහ. සංඝ සමාජය තුළ භෞතික ධනය, බලය හා තනතුරු සම්බන්ධයෙන් පිළිගැනීමක් නො වීය. මන්දයත් ඔවුන් තුළ හුදෙක් ධනය, බලය හා තනතුරු යන සියල්ල සම්බන්ධයෙන් පිළිගැනීමක් වී නම් ඒ ආධ්‍යාත්මික ව ඇති කරගත් දියුණුව හා සම්බන්ධයෙන් පමක් විය. හුදෙක් එහි මිනුම් දණ්ඩ වූයේ සීලය, සමාධිය සහ ප්‍රඥාව පමණි. ඊයේ දවස වන තෙක් රජගහ නුවර වීථි, කැසිකිළි-වැසිකිළි සුද්ද පවිත්‍ර කරමින්, මිනිසුන්ගේ අවමානයට පත්වෙමින් සිටි සුනීතගේ දෙපා නමස්කාරයට අද බිම්බිසාර රජු නො පසුබට වෙයි.1

නීචෙ කුලම්හි ජාතො’හං දළිද්දො අප්පභොජනො,
හීනකම්මං මමං ආසි අහොසිං පුප්ඵඡඩ්ඩකො;
ජිගුච්ඡිතො මනුස්සානං පරිභූතො ච වම්හිතො,
නීචං මනං කරිත්‍වාන වන්‍දිසං බහුකං ජනං.

(ථෙරගාථා, 620-621 ගාථා 1)

ඊයේ වන තෙක් අංගුලිමාල නමැති මිනීමරුවාගේ නම ඇසූ පමණින් මිනිසුන් බියෙන් වෙව්ලන්නට විය. ඔහුගේ පසුපස සෙබළු පන්නමින් සිටියහ. අද කෝශල රජ ප්‍රසේනජිත් තමා ම ඔහුට සේවය කරයි. ශාක්‍ය රාජ කුමාරවරුන්ගේ කරණවෑමීන් වූ උපාලි, ආනන්ද සහ අනුරුද්ධ යන අයට අද රාජකුමාරවරු නමස්කාර කරති. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ යථෝක්ත දේශනාව සාර්ථක කළහ.2

චොරො අහං පුරෙ ආසිං අඞ්ගුලිමාලො’ති විස්සුතො,
වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං;
ලොහිතපාණී පුරෙ ආසිං අඞ්ගුලිමාලො’ති විස්සුතො,
සරණාගමනං පස්ස භවනෙත්ති සමූහතා.

(ථෙරගාථා, 880-881 ගාථා2)

“මහණෙනි, යම් අයුරකින් ගංඟා, යමුනා, අචිරවතී, සරභු සහ මහී යන මේ ගංගා පහ සමුද්‍රයට එකතු වීමේ දී තම මුල් නම් අතැහැර එක ම නම වූ සමුද්‍ර යන නාමයෙන් හඳුන්වනු ලබන්නේ ද ඒ අයුරින් මහණෙනි, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය සහ ශූද්‍ර යන මේ කුලයන්ගෙන් ඉවත් වී මගේ ශාසනයෙහි පැවිදි වූවාහු ඔවුහු තම මුල් නාම, ගෝත්‍ර අතහැර දමා එක ම ශාක්‍ය පුත්‍රයන්ගේ නමින් හඳුන්වති.”3

ගංගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්‍වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්‍වෙව සඞ්ඛං ගච්ඡන්ති එවමෙව ඛො පහාරාද, චත්තාරො මෙ වණ්ණා, ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්‍වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘සමණා සක්‍යපුත්තියා’ ත්‍වෙව සඞ්ඛං ගච්ඡන්ති.

(අංගුත්තරනිකාය, අට්ඨකනිපාතය, පහාරාද සූත්‍රය 3)

උන්වහන්සේලා සංසාරයේ විෂමතාවන්ගෙන් ආධ්‍යාත්මික සමතාව ලබා ගත්හ. මෙනිසාවෙන් උන්වහන්සේලාගේ හදවතින් නිකුත් වූ ගී තනුව එක ම තාලයෙන් යුක්ත විය. ඒ විමුක්ති සුවයේ මධුරත්වය යි.

ථෙරගාථාවන්හි ස්වාභාවික සෞන්දර්යය පිළිබඳ ව සුන්දර වර්ණනා ඇතුළත් වේ. සමාජය මිනිසාගේ මනස විකෘති කරන දේවල්වලින් පිරී පවතී. නමුත් ස්වාභාවික පාරිසරික වාතාවරණය ඔවුන්ගේ මනස ශාන්තභාවයට පත් කරයි. එයින් ඔවුන් තුළ මානසික ඒකාග්‍රතාව ඇති වේ. එනිසා ම ශ්‍රේෂ්ඨ යෝගීවරු ස්වාභාවික පරිසරය නමැති උකුළෙහි ම මෝක්ෂය උදාකරගැනීම උදෙසා උත්සාහ කරති.  ඝන වනාන්තර, ඉතා විශාල වූ උස් පර්වත, කඳු, පාළු ගුහා, නදී, වෙරළ වැනි නිර්ජන ස්ථානයන්හි උන්වහන්සේලා ධ්‍යාන භාවනාවන්හි නියුක්ත ව නිර්වාණය සාක්ෂාත් කළහ.

ථෙරගාථාවන්හි සිවුපාවන්ගේ, පක්ෂීන්ගේ මිහිරි ගීත, නදී හා කුඩා ගංගාවන්හි ජලය ගලා බස්නා හඬ, වනාන්තර පර්වතයන්හි සුන්දරත්වය, වලාකුළුවල ගර්ජනය සුන්දර ලෙස වර්ණනා කෙරේ. ගාථාවන් බොහෝමයක ඇත්තේ ස්වභාව සෞන්දර්යයේ සහ සංගීතයේ කදිම එකතුවකි. පරිසරය පමණක් නො ව මේ සියල්ලක් ම උන්වහන්සේලාට භාවනායෝගී ව විසීම සඳහා අවශ්‍ය සුදුසු වාතාවරණ ලබාදුන්හ. එසේ ම එයට අවශ්‍ය අනුබල ද ලැබුණි- වර්ෂා ඍතුව පැමිණි කල්හි උසභ භික්ෂුව ප්‍රීති වාක්‍ය ගැයීය. අලුත් වර්ෂාවෙන් තෙමුණු පර්වත මත තුරුලතා දිවෙයි. මෙම ඍතුව අතිශය ප්‍රිය, ආරණ්‍යවාසී උසභ භික්ෂුවගේ මනස තෘප්තිමත් කරයි.4

නගා නගග්ගෙසු සුසංවිරූළ්හා
උදග්ගමෙඝෙන නවෙන සිත්තා,
විවෙකකාමස්ස අරඤ්ඤසඤ්ඤිනො
ජනෙති භිය්‍යො උසභස්ස කල්‍යත’න්ති.

(ථෙරගාථා, 110 ගාථාව 4)

මේ අයුරින් ම සෝණ ස්ථවිරයන් ද ප්‍රීති වාක්‍ය ගැයීය. නක්ෂත්‍ර සමූහයකින් යුතු රාත්‍රිය සැතපීමට නො ව මෙවැනි රාත්‍රීන් ඇත්තේ ඥානවන්තයන්ගේ නිදිවැරීම සඳහා ය.

ඓතිහාසික වශයෙන් ද ථෙරගාථාවන්හි වැදගත්කමෙහි කිසිදු අඩුවක් නැත- නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදවලින් තථාගතයන් වහන්සේගේ පිහිට පතාගෙන පැමිණි තෙරුන් වහන්සේලාගේ ජීවන කථා තුළින් තථාගතයන් වහන්සේ ජීවමාන සමයේ කවර ප්‍රදේශයන්හි බුදුන් වදාළ සද්ධර්මය ප්‍රචාරය වී තිබුණේ දැයි යන්න පිළිබඳ යම් එළියක් ථෙරගාථා තුළින් ලැබේ. ඊට අමතර ව එකල සාමාජික- ධාර්මික සහ ආර්ථික පසුබිම පිළිබඳ දැනගැනීමට ද ප්‍රමාණවත් කරුණු මේවායින් ලද හැකි ය.

මේ කාලය තුළ එක ම දේශයක් තුළ විවිධ ප්‍රදේශ රජවරු ස්වතන්ත්‍ර ව රාජ්‍ය පාලනය කළ ද ඔවුහු එකිනෙකාට බියෙන් ත්‍රස්ත ව ජීවත් වූහ. රාජ්‍ය සම්පත් අතහැර දමා තථාගතයන් වහන්සේගේ ශිෂ්‍යයන් වීමෙන් පසු තමා අත්පත් කරගත් අභය සහ ශාන්තිය පිළිබඳ සටහන් තෙරවරුන් කිහිප දෙනෙකුන් විසින් ම දක්වා ඇත. භද්දිය ස්ථවිර වහන්සේ එකල ශාක්‍ය රජෙකු විය. උන්වහන්සේ සිය උදාන වාක්‍යයේ දී “උස් වූ මඬුලු පවුරු ඇති දෘඪ අටලු කොටු ඇති පුරයෙහි (උස් වූ කුටිවලින් සහ උස් වූ ගෝලාකාර තාප්පවලින් වට වූ නගරයන්හි) කඩුගත් ආරක්ෂකයන් විසින් රක්ෂා කරන ලද්දේ වුවත් ත්‍රස්ත ව වී ම ජීවත් වූයෙමි.” යනුවෙන් ප්‍රකාශ කොට ඇත.

උච්චෙ මණ්ඩලිපාකාරෙ දළ්හමට්ටාලකොට්ඨකෙ,
රක්ඛිතො ඛග්ගහත්‍ථෙහි උත්තසං විහරිං පුරෙ.

(ථෙරගාථා, 863 ගාථාව 5)

“අද ඒ භද්‍ර වූ ත්‍රස්ත නො වන සුලු වූ පහ වූ භය භෛරව ඇති ගෝධා පුත්‍ර භද්දිය වනයට පිවිස ධ්‍යානය වඩයි”6  

සොජ්ජ භද්දො අනුත්‍රාසි පහීනභයභෙරවො,
ඣායති වනමොගය්හ පුත්තො ගොධාය භද්දියො.

(ථෙරගාථා, 864 ගාථාව 6)

වර්තමාන ලෝකයේ බලය පසුපස උමතුවෙන් දුවන සමහර රාජ්‍ය නායකයින්ගේ පැවැත්ම ද එකල රජවරුන්ටත් වඩා දුක්ඛිත වේ. මෙය වනාහි තෘෂ්ණාවෙන් ඉහළට යාම හේතුවෙන් ඇති වන දුක්ඛිත තත්ත්වයක් මිස අන් කිසිවක් නො වේ. යම් තැනක තෘෂ්ණාව ප්‍රහාණය කරයි ද එතැන නිර්භය සහ ශාන්තිය වේ.

සන්ත සාහිත්‍යයේ දී ථෙරගාථාවලට විශේෂ ස්ථානයක් හිමිවේ. මේ ගාථා මගින් අනාවරණය වන්නේ ශ්‍රේෂ්ඨ ස්ථවිරයන් වහන්සේලා සිය ජීවින අද්දැකීම් අප වෙනුවෙන් ඉතිරි කර ඇති ආකාරය යි. ආර්ය මාර්ගයෙහි ගමන් ගන්නා තැනැත්තාට බෝධිචිත්තය විකාසනය සඳහාත් වැසී ඇති දහම් ඇස විවර කරගැනීම සඳහාත් එමගින් අවකාශ ලැබේ. මෙය ථෙරගාථාව පිළිබඳ ප්‍රථම හින්දී අනුවාදය යි. සමහර උදාන වාක්‍යයන්ගේ විෂය ඉතා පැහැදිලි ය. එහෙත් තෙරවරුන් කිහිප දෙනෙකුගේ ජීවන කථාව පිළිබඳ අවබෝධයකින් තොර ව එම ප්‍රකාශ පැහැදිලි කරගත නො හැකි ය. එනිසා එක් එක් තෙරුන් වහන්සේ නමක් පිළිබඳ වෙන වෙන ම උන්වහන්සේලාගේ ජීවන චරිතය ගැන කෙටි විස්තරයක් ඒ ඒ ථෙරගාථා ආරම්භයේ දී දක්වා තිබේ. එය පාඨකයාට වඩාත් පහසු පිණිස හේතු වනු ඇතැයි අපේක්ෂාව යි.

මේ අනුවාදය ඉතා සරල ව ඉදිරිපත් කිරීමට හැකිතාක් දුරට උත්සාහ කළෙමි. බුදුදහමට එසේ ම බෞද්ධ දර්ශනයට සම්බන්ධ පාරිභාෂික ශබ්ද පිළිබඳ පාඨකයාට අවබෝධයක් නැති හෙයින් ඒ පිළිබඳ අර්ථ විවරණ පරිශිෂ්ටයේ එන ‘බොධිනී’ (259 පිට) මාතෘකාව යටතේ දක්වා ඇත. යම් විටෙක ථෙරගාථා පිළිබඳ මේ අධ්‍යයනයෙන් පාඨකයාට පසතුරු හා එක්වීමෙන් ලැබෙන රතිය පරාජය කර නිර්වාණ රතියේ දීප්ති මාත්‍රයක් හෝ ඇති වේ නම් එය මම මේ සඳහා යෙදවූ පරිශ්‍රමයට ලැබුණු ත්‍යාගය වශයෙන් පිළිගන්නෙමි.

ආශ්‍රිත ග්‍රන්ථ

1. අංගුත්තරනිකාය, (2005): බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
2. ථෙරගාථාපාළි, (2005): බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
3. ථෙරගාථාට්ඨකථා, (1926): හේවාවිතාරණ මුද්‍රණය, මහාබෝධි සමාගම, කොළඹ,
4. ථෙරගාථා, (1956): (ආචාර්ය) ධර්මරත්න, භික්ෂු, භාරතීය බෞද්ධ ශික්ෂා පරිෂද්, ලක්නව්.

(ආචාර්ය භික්ෂු ධර්මරත්න (එම්-ඒ., ඩී.ෆිල්. 1956) විසින් පාලි ථෙරගාථාවට කරන ලද හින්දී අනුවාදයේ එන ‘ප්‍රාක්කථන්’ නමැති ප්‍රස්තාවනාවේ සිංහල පරිවර්තනය යි. මෙහි ඇතුළත් පාලි ගාථා  මා විසින් විසින් එකතු කරන ලදී.)

අනුවාදය:
එච්.එම්. මධුෂිකා ලක්මාලි දයාරත්න

SEO SCORE %

10 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.00

Visitors liked the post