කුරුඳු වගාව ගැන නුපුරුදු කතාවක්! – II කොටස

by | දෙසැ. 30, 2021 | කෘෂිකර්ම | 0 comments

Gihani Ranathunga

Gihani Ranathunga

Author

කුරුඳු වගාවේ මුල් අදියර කිහිපය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට පසුගිය ලිපියෙන් ලැබෙන්න ඇති. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අස්වනු නෙලා ගැනීම හා සම්බන්ධ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න. එහෙනම් අපි බලමු කුරුඳු නිෂ්පාදයේ අවසාන පියවර කොහොමද කෙරෙන්නේ කියල‍ා.

 

කුරුඳු වගාව ආශ්‍රිත නිෂ්පාදන

අස්වනු නෙලා ගැනීම

කුරුඳු ශාකයෙන් අස්වැන්න නෙලා ගැනීමට සුදුසු කාලය තීරණය කරනු ලබන්නේ පොත්තෙහි වර්ණය අනුවයි. ඒ අනුව පොත්ත දුඹුරු පැහැ ගැන්වී ඇත්නම් එය කුරුඳු වගාවෙන් අස්වැන්න නෙලීමට සුදුසු කාලය වේ. අළුත සිටවූ වගාවක් නම් අස්වනු නෙලීමට සුදුසු වන්නේ අවුරුදු දෙකහමාරත් තුනත් අතර කාලයයි.

අතීතයේ කුරුඳු අස්වනු නෙලීම නැතහොත් කුරුඳු තැලීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබූයේ මුහුදුබඩ ප්‍රදේශවල වාසය කල ජන කණ්ඩායමක් විසිනි. කුල පරම්පරා වර්ගීකරණයට අනුව ඔවුන් අයත් වන්නේ සලාගම කුලයටයි. රජුගේ අවශ්‍යතාව අනුව කුරුඳු තලා සකස් කර දීමේ නියෝගයට යටත්ව කුරුඳු වගාව බහුලව පැවති නින්දගම්වල වාසය කිරීමට ඔවුන්ට අවසර හිමිව තිබිණි. වර්තමානයේද අස්වනු නෙලීමට සුදුසු කාල වකවානුව එළඹෙන විට ඔවුහු රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් තම ජීවිකාව සකසා ගනිත්. කුරුදු තැලීම සිදු කරනු ලබන්නේ තුනෙන් පංගුවට හෝ දෙකෙන් පංගුවට ය. එනම්, මුළු අස්වැන්න දෙකට හෝ තුනට බෙදා එයින් එක් කොටසක් කුරුඳු තලන පුද්ගයාටත් සෙසු කොටස් වතු හිමියාට ලැබෙන පරිදි වේ.

පාරම්පරිකව පැවත කුරුඳු කර්මාන්තය හා සබැඳි විශේෂ භාෂා ව්‍යවහාරයක්ද පවතී. කුරුඳු අස්වනු නෙලීමේ එක් එක් පියවරයන් හා බැඳුණු මෙම වාග් මාලාව එම කර්මාන්තයේ නියැළෙන්නන් අතර වර්තමානයේද ප්‍රකටව භාවිත වේ.

  • තැළුම් බැලීම

කුරුඳු කැපීමට ප්‍රථමයෙන් වගාබිමේ ඇති ගස් කිහිපයක පොතු කැත්තකින් සූරා කුරුඳු දඬු තැලේදැයි පරික්ෂා කිරීම තැළුම් බැලීම නම් වේ. ගස් කිහිපයක් එසේ පරික්ෂා කර සම්පූර්ණ වගාබිමම අස්වනු ලබා ගැනීමට සුදුසුද නැද්ද යන වග තීරණය කිරීමට කුරුඳු තලන්නාට අත්දැකීමෙක් ලද දැනුමක් තිබිය යුතු ය.

  • කුරුඳු කැපීම

වැඩුණු කුරුඳු දඩු මව් ශාකයෙන් වෙන් කර ගැනීම අස්වනු නෙලීමේ දෙවන පියවර ලෙස දැක්විය හැකි ය. හොඳින් වැඩුණු කුරුඳු වගාවකින් වසරකට දෙවරක් අස්වනු ලබා ගත හැකි ය. වර්ෂා කාලයකින් පසුව එන ලා දළු හොඳින් මෝරා ඇද්ද යන කුරුඳු කැපීමේදී සලකා බැලෙන මූලික කාරණා අතරින් එකකි. තවද, මල් පීදීම හෝ ඵල දැරීම සිදු වන අවස්ථාවලදී කුරුඳු කැපීම සිදු නොකරයි. කුරුඳු කැපීම කැත්තෙන් මෙන්ම හරස් කපන කියතෙන්ද සිදු කල හැකි ය. නමුත් හරස් කපන කියත භාවිතය නිසා අලුතෙන් ලියලන පැළ අඩු වීමක්, ප්‍රමාද වීමක් මෙන්ම කදේ ඉහළින් පැළ දැමීමක් සිදු වේ. මේ නිසා කැත්ත භාවිතය වඩාත් සුදුසු ය.

කුරුඳු කැපීම සිදු කරනු ලබන්නේ පිරිමි පාර්ශවය විසිනි. බොහෝවිට කල්ලියක නායකයා විසින් මෙම කාර්යය ඉටු කරනු ලබන අතර ඒ සඳහා දැනුම පළපුරුද්ද තිබිය යුතු ය. එසේම කුරුඳු කපන පුද්ගලයාගේ අත්ගුණය මත ඊළඟ කන්නය සඳහා මොටි කොපමණ ප්‍රමාණයක් හටගන්නේද යන්න තීරණය කෙරෙන බව විශ්වාස කෙරේ. එසේම, කුරුඳු කැපීමට පෙර වගා ක්ෂේත්‍රයේ ඇති වල් පැල ඉවත් කර තිබිය යුතු ය. සමහර ප්‍රදේශවල කුරුඳු කැපීමට ප්‍රථමව පොහොර යෙදීමද සිදු කරයි.

  • කුරුඳු ඇදීම

කපා මිටි බදින ලද කුරුඳු දඬු වාඩිය වෙත රැගෙන ඒම කුරුඳු ඇදීම ලෙස හඳුන්වයි. මෙය උදෑසන 6-8 දක්වා සිදු කෙරෙයි. කපා ගත් කුරුඳු දඬු වියලීම වැළැක්වීම සඳහා ඒවා තෙත ගෝනිවලින් වසා තැබීම හො විශාල ජල බඳුනක බහාලීම සිදු කරයි.

  • අතු පෑහීම

මව් ශාකයෙන් කපා ඉවත් කරගන්නා කුරුඳු දඬුවල ඇති කුඩා අතු කපා ඉවත් කිරීම මේ නමින් හඳුන්වයි.

  • ගැට පෑහීම

කුඩා අතු කපා ඉවත් කිරීමෙන් අනතුරුව ගසේ ඉතිරිවන ගැටිති කපා ඉවත් කිරීම ගැට පෑහීම නම් වේ. මෙය.කල්ලියේ අනෙකුත් සාමාජිකයන් විසින් වාඩිය තුලදී සිදු කෙරෙන්නකි. ගැට පෑහීම සඳහා භාවිත කෙරෙන කැත්ත “ගැට පාහින කැත්ත” ලෙස හඳුන්වයි.

  • කුරුඳු ගෑම

කුරුඳු ගසේ පිටින් ඇති දුඹුරු හෝ කොළ පැහැ සිවි ඉවත් කර ගැනීම කුරුඳු ගෑමේ ක්‍රියාවලියේදී සිදු කෙරේ. මේ සඳහා “ගාන කොකැත්ත” නම් සුවිශේෂී උපකරණයක් භාවිත කෙරේ. මෙම ක්‍රියාවලිය කුරුට්ට ගෑම ලෙසද ව්‍යවහාර කෙ‍රේ.

  • කුරුඳු ගස මැදීම

කුරුඳු ගසක උඩු සිවිය ඉවත් කල පසු පිත්තල කූරක් ආධාරයෙන් ගස පිරිමැදීම සිදු කරයි. මෙසේ පිත්තල කූරක් මතුපිට සිවිය ඉවත් කරන ලද කුරුඳු ගසේ ඇතිල්ලීමෙහි අරමුණ වන්නේ තැලීමට පහසු වන පරිදි එහි පොත්ත බුරුල් කිරීම හා පොත්තට හොඳ තද පැහැයක් ලබා දීමයි. කුරුඳු ගස මැදීමේදී කුරුඳු පොත්තෙහි බුබුළු වශයෙන් ස්‍රවයක් පිට වන්නේ නම් එම කුරුඳු තලා ගැනීම පහසු ය.

  • කුරුඳු තැලීම

කුරුදු කර්මාන්තයේ ප්‍රධානම අදියර වන්නේ කුරුඳු තැලීමයි. මෙහිදී කුරුඳු ගසේ වටිනාම කොටස වන කුරුඳු පොත්ත ගසෙන් වෙන් කර ගැනීම සිදු කරයි. නොකැඩෙන සේ ගලවා ගන්නා පොත්ත “කුරුඳු ලෙල්ල” නමින් හඳුන්වන අතර එය ලෙලි තැලීම නම් වේ. ලෙලි තැලීමේදී සාමාන්‍යයෙන් අගල් 21ක දිගක් සහිත පොතු කැබලි තල‍ා ගනු ලැබේ. ඒ සදහා භාවිත කරනු ලබන්නේ “තලන කොකැත්ත” නම් උපකරණකි. සම්පූර්ණ ලෙල්ල තලා ගැනීමට නොහැකි ඇතැම් කුරුඳු ගස් වලින් පොතු කුඩා කැබලි (featherings) වශයෙන් ගලවා ගනු ලබයි. මෙය “පොඩි තැලීම” වශයෙන් හැඳින්වේ.

 

කුරුඳු ගසකින් කුරඳු පොතු ලබා ගැනීම

  • වැලි ගස් තැලීම

වගාවේ අතරින් පතර වැලි ගස් එසේ නැතහොත් තැලීමට අපහසු ගස් හමුවන අවස්ථාවලදී ඒවායේද මතුපි‍ට සිවිය ඉවත් කර කැත්තක මුවහත නොමැති පැත්තෙන් ගසමින් පොතු ගලවා ගනු ලබයි.

  • කට්ට තැලීම

කුරුඳු පඳුරකින් හොඳින් වැඩුණු දඬු කපා ගැනීමේදී ඒවායින් ඉවත් කරන ලබන නොවැ‍ඩුන මේරූ ගස් හා කුඩා අතු රිකිලි “කට්ට කෝටු” නම්වේ. කොළ ඉවත් කරන ලද කට්ට කෝටුවලට මුගුරකින් පහර දී කොළ පැහැ සිවිය සමග පොතු ලබා ගැනීම කට්ට තැලීමේදී සිදු කරයි. කොළ පැහැ උඩු සිවිය ඉවත් කර ඇතුලත පොත්ත ලබා ගන්නේ නම් එම කට්ටවලට ඉහළ මිලක් ලබා ගත හැකි ය. මේ සියල්ල වෙන් ‌වෙන් වශයෙන් ‌‌වේලා තෙල් වැනි ‌අතුරු නිෂ්පාදන සඳහා යොමු කරයි.

Secret behind the story of cinnamon කුරුඳු වල සැඟවුන සත්‍යය ,Heiries Of Ceylon

  • හන්දි කිරීම

හකුලා ගත් කුරුඳු ලෙලි එකිනෙක අමුණා ඒවා තුලට කුඩා කුරුඳු පොතු කැබලි දමා කූරු සකස් කර ගැනීම හන්දි කිරීම නම් වේ. මෙවැනි එක් කූරක් අඩි දෙකහමාරක පමණ දිගින් යුතුය. කුරුඳු ලෙල්ලක් තුලට කුරුඳු පොඩි දැමීමේදී සෑම විටම තැලුම් පැත්ත උඩ‍ට සිටින සේ අසුරා ගත යුතුය. හන්දි කිරීමට පෙර කුරුඳු ලෙලි අධික ලෙස වියළා ගැනීම නොකල ‍යුතු ය. අසුරා ගන්නා විට පොඩි කුරුඳු ලෙල්ලෙන් උඩ මතු වන්නේ නම් උඩ‍ට පැමිණෙන ‍කොටස ප්‍රවේශමෙන් කඩා ඉවත් කල යුතු ය.

කුරුඳු ලෙල්ලක් තවත් කුරුඳු ලෙල්ලක් හා සන්දි වන ස්ථානය වාන්දුව නමින් හඳුන්වයි. වාන්දුවක ඇතුලත පිරවීම සඳහා දිග කුරුඳු පොතු යොදා ගනියි.

කුරුඳු හන්දි කරන ආකාරය

  • කුරුඳු වැල තැබීම

හන්දි කරන ලද කුරුඳු කූරු වාඩියේ වහළයට ආසන්නයෙන් ලණු ඇද සකස් කරගන්නා දැලක් මත තබා පවනේ වියළා ගනු ලබයි. මෙම ක්‍රියාවලිය කුරුඳු වැල තැබීම නම්වේ.සකසා ගත් කුරුඳු කූරු දින 7-8ක් පමණ මෙසේ වියළා ගනු ලබයි.

වැල තබා ඇති කුරුඳු කූරු

  • බඩ ඇඹරීම

දින කිහිපයක් පවනේ වියළා ගත් කුරුඳු කූරුවල සවි ශක්තිය වැඩි කිරීම සඳහා ඒවා වැලෙන් ඉවතට ගෙන ගෝනියක් මත තබා ඒ මේ අතට අඹරා ගැනීම සිදු කරයි. එයින් කුරුඳු කූරක පිට ලෙල්ල හා ඇතුලත ඇති කුඩා පොතු හොඳින් තද වී සවිමත් වීම අපේක්ෂා කෙරේ. බඩ ඇඹරීම යනු මෙම ක්‍රියාවලියයි.

  • කුරුඳු මිටි බැඳීම

දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව නිසි පරිදි සකස් කර ගත් කුරුඳු කූරු මිටි වශයෙන් අලෙවි කිරීම සිදු කරයි. එහිදී හොඳ පෙනුමක් සහිත කුරුඳු කූරු මිටියෙහි පිටතින් අසුරනු ලබයි මෙය “පිට වටේ තැබීම” නම්වේ. කුරුඳු මිටි බැඳීමේදී දිග හරින ලද ලණු කැබලි මත කුරුඳු කූරු පිළිවෙලින් තබා සිලින්ඩරාකාරව එකට එකතු කර ගැනීම සිදු කරයි. අනතුරුව පිට වටේ ඇති නොපිට පෙරළුණු කුරුඳු කූරු නිසි පරිදි සකස් කරනු ලැබේ.

 

කුරුඳු මිටි බඳින ආකාරය

මෙම භාෂා ව්‍යවහාරය කුරුඳු නිෂ්පාදනයේ එක් එක් අදියර හා සබැඳි පොදු භාෂා ව්‍යවහාරය ලෙස දැක්විය හැකිය. නමුත්, භාවිත වන ප්‍රදේශය අනුව එහි සුළු වෙනස්කම් පැවතිය හැකි ය.

කුරුඳු කර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ

 

කුරුඳු කර්මාන්තයේදී භාවිත කරනු  ලබන මෙවලම්

කුරුඳු කපන කැත්ත

කුරුඳු කැපීමට භාවිත කරන කැත්ත කුරුඳු කපන කැත්ත යනුවෙන් හඳුන්වයි. මෙය ඉතා මුවහත් වන අතර සිරිතක් වශයෙන් වෙනත් කාර්යයන් සඳහා යොදා නොගනියි. වගා ක්ෂේත්‍රයක පළමුවන කුරුඳු ගස කැපීමට පෙර කැත්තට නමස්කාර කිරීමේ සම්ප්‍රදායක්ද පවතී.

ගැට පාහින කැත්ත

කුරුඳු ගසක අතු රිකිලි හා ගැට කපා ඉවත් කිරීමට යොදා ගනු ලබන්නේ මෙම කැති විශේෂයයි. මෙය කුරුඳු කපන කැත්ත තරම් මුවහත් නැත.

කැත්ත මදින ලීය

කුරුඳු කපන කැත්ත මුවහත් කිරීමට සඳහා සකස් කර ගනු ලබන එක් පැත්තකින් පැතලි මතුපිටක් සහිත කුරුඳු පොල්ලක් හෝ රීප්ප පටියක් මේ නමින් හඳුන්වයි. එහි පැතලි මතුපිටට වැලි ස්වල්පයක් හෝ මැටි ගල් දෙකක් එකිනෙක අතුල්ලා ලබා ගත් ගල් කුඩු දමා කැත්ත ඒ මත ඉහළ පහල ඇතිල්ලීමෙන් මුවහත් කිරීම සිදු කරනු ලබයි.

ගාන කොකැත්ත

කුරුඳු ගසේ මතුපිටින් ඇති දුඹුරු පැහැ සිහින් සිවිය ඉවත් කර ගැනීමට භාවිත කරන්නේ ගාන කොකැත්ත නැමැති උපකරණයයි. මෙම උපකරණය උපයෝගී කර ගනිමින් කුරුඳු ගෑමට සාපේක්ෂව වැඩි කාලයක් ගත වන නමුත් මෙමගින් කුරුඳු ලෙල්ල ඉක්මනින් වියලී යාම වලක්වා ගත හැකි ය. කුරුඳු ගසක අභ්‍යන්තර පොත්තෙහි තෙත ගතිය පැය කිහිපයක් වුවත් රඳවා ගත හැකි වන්නේ ගාන කොකැත්ත කුරුඳු ගෑමට භාවිත කිරීමෙනි. ගාන කොකැත්ත පීරි ගෑම මගින් මුවහත් කරනු ලබයි. කුරුඳු ගසක පිට සිවිය සූරා ඉවත් කරන විට ඇතුළත පොත්තට සිදු වන හානිය වළක්වා ගැනීමට මෙය මුවහත් කරනු ලබන්නේ සාමාන්‍ය ප්‍රමාණයකටයි.

සවුත්තුව

කුරුඳු ගෑම වඩා වේගවත්ව සිදු කිරීමට මෑත කාලීනව හඳුන්වා දුන් ගාන කොකැත්ත හා සමාන උපකරණයකි. මෙමගින් කුරුඳු ගසක් ගෑම විනාඩි දෙකක් වැනි කෙටි කාලයකින් සිදු කර ගත හැකි ය. නමුත් කුරුඳු ගස ඉක්මනින් වියලී යෑමක් සිදු වේ.

තලන කොකැත්ත

කුරුඳු ගසේ ඇතුල් පොත්ත වෙන් කර ගැනීමට භාවිත කරන ලබන උපකරණය තලන කොකැත්ත නම් වේ. කල්ලියක සෑම සමාජිකයෙකුටම තලන කොකැත්තක් තිබේ.

පිත්තල ලීය

කුරුඳු පොත්ත කදෙන් වෙන් කිරීමට පෙර ලිහිල් කිරීමේ කාර්යයට යොදා ගන්නා අගල් දහයක පමණ දිගින්ද සෙන්ටිමීටරයක පමණ ඝනකමකින්ද යුත් පිත්තල පොල්ල මේ නමින් හඳුන්වනු ලැබේ. මෙය ග්‍ර්රෑම් 75-100 අතර බරකින් යුතු වේ.

ඇඟිලි කොපුව

කුරුඳු තැලීමේදී කොකැත්ත අල්ලන අතෙහි දබරඟිල්ල තුවාල වීම වැලැක්වීමට රෙදිපටිවලින් පමණක් හෝ රෙදිපටි රබර් කිරිවල පොඟවා තනාගන්නා කොපුව ඇඟිලි කොපුව නම් වේ.

පෙති කෝටුව

කුරුඳු කූරක දිග මැන ගැනීමටත් හන්දි කරන ලද කොටු ,එහෙ මෙහෙ කිරීමටත් භාවිත කරනු ලබන අඩි තුනහමාරක පමණ දිගින් යුත් උපකරණය පෙති කෝටුව ලෙස හැඳින්වේ. මෙහි එක් කෙලවරක ලී පතුරක් සවි කර ඇත.

හන්දි කරන කතුර

කුරුඳු හන්දි කිරිමේදී ලෙලි නියමිත ප්‍රමාණයට කපා ගැනීම හන්දි කරන කතුර ආධාරයෙන් සිදු කරයි.

කුරුඳු වගාව ඉතාම සාර්ථක ආදායම් මාර්ගයක් වුවත් එහි වර්තමාන තත්ව‍ය ඉතාම කණගාටුදායකයි. දැනට ර‍‍ට තුළ කුරුඳු තැලීමේ නියැ‍ළෙන පුද්ලයන් සොයා ගැනීමට අපහසු වීම ඊ‍ට ප්‍රධානම හේතුවක් වෙලා තිබෙනවා. කුරුඳු වගාවේ නිරතවන්නන්ට වගාව වැඩි දියුණු කර ගැනීමට හොඳ මාර්ගෝපදේශනයක් ලබා නොදීම, ප්‍රමිතියෙන් තොර පැළ රෝපණය, ය‍ටිතල පහසුකම් අවම වීම වගාව සීම‍ා වීමට බලපෑ තවත් හේතු කිහිපයක්. හොඳින් ගස් වර්ධනය වූ අක්කරයක පමණ වගාබිමකින් කුරුඳු කිලෝ තුන්සීයක් පමණ තලා ගැනීමේ හැකියාව තිබෙනවා. එක් කුරුඳු කි‍ලෝවක් රු. 2000-3000 පරාසයක මුදලක‍ට විකුණන්න පුළුවන්. සාම්ප්‍රදායික වගාවෙන් ඉවත්‍ වෙලා නවීන වගා ක්‍රම අනුගමනය කරනවා නම් වඩා හොඳ ආදායමක් ලබා ගන්න හැකියාව තිබෙනවා. මේ ලිපියෙනුත් මෙහි පළමුවැනි කොටසිනුත් අවධානය යොමු වුනේ දිර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙන කුරුඳු වගාව පිළිබඳව කරුණු වටහ‍ා දීමයි. කෙසේ වෙතත්, මෙම ලිපිය සැකසීමට තොරතුරු දුන් සියලු දෙනාටත්, අන්තර්ජාලයට අදහස් එකතු කල සියලු දෙනාටත්, අදාළ පින්තූරවල මුල් හිමිකරුවන්ටත් ස්තූතියි!

සුභ දවසක්! I කොටස ආශ්‍රිත වෙබ් පිටු:

SEO SCORE %

83 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.00

Visitors liked the post