ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට සුළු අපනයන භෝගයක් වශයෙන් කුරුඳු වගාවෙන් ලැබෙන දායකත්වය ඉහළයි. මෙම ලිපියෙන් කුරුඳු වගාව හා සම්බන්ධ අප්‍රසිද්ධ තොරතුරු රාශියක් ගෙන ඒම අපේක්ෂා කෙරෙනවා. කුරුඳු වගාව ගැන දැන ගන්න කැමති, ඒ වගේම කුරුඳු වගාවේ නියැලෙන්න කැමති ඕනම කෙනෙකුට මේ ලිපියෙන් කුරුඳු කර්මාන්තය පිළිබඳව මූලික දැනුම ලබා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවට ආවේණික සත්‍ය කුරුඳු ශාකයක්
පෙරදිග ලෝකයේ රටවල් අතුරින් කුරුඳු නිෂ්පාදනයෙහි ලා ප්‍රමුඛත්වය ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාවද වෙයි. පෘතුගීසි, ලන්දේසි, හා ඉංග්‍රීසි ආදි එක් එක් යටත් විජිත යුගයන්හි පටන් බටහිර ලෝකයේ රටවල අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වීමට හේතූ වූ එක් සාධකයක් ලෙස කුරුඳු වගාව දැක්විය හැකි ය. ශ්‍රී ලංකාවේ අපනයන භෝග අතුරින් සිව් වැනි ස්ථානය හිමි කර ගන්නා කුරුඳු, ලොරේසියානු කුළයට අයත් සදා හරිත බහු වාර්ෂික ශාකයකි. සිනමෝමම් වේරම් (Cinamomum Verum) යන උද්භිත නාමයෙන් හඳුන්වනු ලබන කුරුඳු ශාකයෙහි ප්‍රධාන ප්‍රභේදයන් දෙකක් හඳුනාගත හැකි ය. එනම්, සිනමෝමම් කැසියා (Cinnamomum cassia) නැමැති උද්භිත නාමය දරණ කැසියා කුරුඳුත් (Cassia cinnamon), සිනමෝමම් සිලනිකම් (Cinnamomum zeylanicum) නැමැති උද්භිත නාමය දරණ සත්‍ය කුරුඳුත් (Ceylon Cinnamon) වේ. කැසියා කුරුඳු වගාව ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාව, වියට්නාමය, බුරුමය හා ඉන්දියාව යනාදී දකුණු හා නැගෙනහිර ආසියාතික රටවල සිදු කෙරෙයි. නමුත් සත්‍ය කුරුඳු දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණි.
ඓතිහාසික පසුබිම
කුරුඳු හා සබැඳි ඉතිහාසය ක්‍රි. පූ.2800 දක්වා දිවෙන අතර එය චීන වාර්තාවල සඳහන් කර ඇත්තේ “ක්වායි” යන නාමයෙනි. බයිබලයේ සඳහන් වන ආකාරයට මොසෙස් විසින් ද කුරුඳු යොදා සකසන ලද තෙල් ආලේපන භාවිත කරන ලද අතර පුරාතන රෝම පාලකයන් උත්සව අවස්ථාවන්හිදී ඇග ගැල්වීමට යොදා ගත් ආලේපනවලද කුරුඳු අන්තර්ගත වූ බැව් වාර්තා වේ. එසේම, මල සිරුරුවලින් වහනය වන දුර්ගන්ධය පළවා හැර ඒවා කල් තබා ගැනීමට පුරාණ ඊජිප්තු වැසියන් කුරුඳු යොදාගත් බව විවිධ ලිපි ලේඛනවල සඳහන් ය. නීරෝ අධිරාජ්‍යයා සිය බිරිඳගේ මෘත ශරීරය ආදාහනය කිරීමට වසර ගණනාවක පරිභෝජනයට ප්‍රමාණවත් අති විශාල කුරුඳු තොගයක් වැය කල බවද වාර්තාවල දැක්වේ.
කුරුඳුවල ඇති ප්‍රසන්න සුගන්ධය හා සරංක්ෂක ගුණයන් කරණ කොට ගෙන මෙය ආහාර කල් තබා ගැනීමට අතිශයින්ම යෝග්‍ය කුළුබඩුවක් වශයෙන් ප්‍රචලිත වූ අතර මස් වර්ග කල් තබා ගැනීමට හා ආහාරවල බැක්ටීරියා වර්ධනය වලක්වාලීමට කුරුඳු උපයෝගී කරගන්නා ලදි. බටහිර ලෝකයේ රටවල් කුළුබඩු සොයා දේශගවේෂණය කෙරෙහි යොමු වන්නේ ගෝලීය වශයෙන් කුරුඳු සඳහා මෙවන් විශාල වටිනාකමක් හිමි වූ පසුබිමක් යටතේ ය. මේ වකවානුව වන විට ගුණාත්මකභාවයෙන් ඉහළ සැබෑ කුරුඳු නිෂ්පාදනයේ නියැලුණු එකම රට වූයේ ශ්‍රී ලංකාවයි. 15 වන සියවසේ මෙරට පෘතුගීසි ආක්‍රමණයන්ට නතු වීමට හේතු වූ එක් සාධකයක් වන්නේද ශ්‍රී ලංකාව සතුව තිබූ කුරුඳු සැපයීමේ හැකියාව සහ ඉන් ලබා තිබූ පෙර අපර දෙදිග වෙළඳ ඒකාධිකාරයත් ය.
ශ්‍රී ලංකාවේ ඉපැරණි කුරුඳු නිෂ්පාදනය
ව්‍යාප්තිය අතින් ගත් කළ, මුල් කාලීනව මධ්‍යම කඳුකරයේ වනාන්තර ආශ්‍රිතව මෙම භෝගය වගා කරනු ලැබේ. එහෙත්, ශ්‍රී ලංකාව ලන්දේසී පාලනයට නතු වූ 1658 සිට1796 කාල සීමාව තුළ කුරුඳු වගාව දිවයිනේ බටහිර හා දකුණු වෙරළ තීරයට ව්‍යාප්ත වූයේ ඉහළ නිෂ්පාදන ධාරිතාවයක් අපේක්ෂාවෙනි. මෙය කුරුඳු වගාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාව කුරුඳු වෙළඳාමේ ප්‍රමුඛස්ථානක සිටි බැව් 1766 පෙබරවාරි 14 වන දින කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ලන්දේසි රජය සමඟ ඇති කර ගත් උඩරට ලන්දේසි ගිවිසුම හෙවත් හඟුරන්කෙත ගිවිසුම සාක්ෂි දරයි. මෙම ගිවිසුම මඟින් සතුරු ආක්‍රමණවලින් සිය රාජධානිය ආරක්ෂා කිරීමට ලන්දේසීන්ගේ සහය ලබා ගැනීමටත් ඒ වෙනුවෙන් ලංකාවේ වනාන්තර ආශ්‍රිත කුරුඳු අස්වැන්න ලන්දේසීන්ට ලබා දීමටත් එකඟත්වයට පැමිණ තිබිණි. කෙසේ වෙතත්, ලංකාව බ්‍රිතාන්‍ය ග්‍රහණයට නතු වීමෙන් පසු කුරුඳු වගාවේ ව්‍යාප්තිය සීමා වීමක් සිදු විය.
ව්‍යාප්තිය
මධ්‍යම කඳුකරයෙන් සම්භවය ලත් කුරුඳු වගාව වර්තමානය වන විට මහනුවර, හෝර්ටන් තැන්න, සිංහරාජය හා මාතලේ යන කඳුකර ප්‍රදේශයන්වලත්, ඉන් ඔබ්බට සබරගමුව පලාතේ බෙලිහුල්ඔය, හපුතලේ හා රත්නපුර යනාදී ප්‍රදේශවලත් සාර්ථකව සිදු කෙරේ. මීට අමතරව තනි වගාවක් වශයෙන් මෙන්ම පොල් වගාවේ යටි රෝපණයක් වශයෙන්ද මාතර සිට මීගමුව දක්වා වෙරළබඩ තීරයේ මෙම සුළු අපනයන භෝගය බහුලව දක්නට ලැබේ.
කුරුඳු නිවර්තන ශාකයක් බැවින් විවිධ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙයි. හොඳ දිය සීරාවක් පවතින ලෝම පස, බොරලු සහිත ලැටරික් පස කුරුඳු වගාවට සුදුසු ය. PH අගය 4.5-5.5 දක්වා පාංශු ස්ථරයන් කුරුඳු වගාවට අතිශයින්ම යෝග්‍ය වේ. මේ සඳහා සුදුසු වර්ෂාපතනය පරාසය වන්නේ 1875mm – 3750mm පරාසයයි.
ප්‍රභේද
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් කුරුඳු ප්‍රභේද අටක් දක්නට ලැබුනද ඉන් වාණිජමය වගාවන් සඳහා යොදා ගනුයේ සිනමෝමම් සිලනිකම් නම් උද්භිද නාමයෙන් හඳුනාගත් කුරුඳු විශේෂය පමණි. සාම්ප්‍රදායික වර්ගීකරණයට අනුව බැලූ කල පැණි රසයෙන් යුත් කුරුඳු ගුණාත්මක බවින් ඉහළ අතර තිත්ත, සැර, කහට රස හා පොත්තෙහි පවතින සෙවෙල ස්වභාවය වැනි විද්‍යාත්මක නොවන හේතුන් මතද කුරුඳු ප්‍රභේද වර්ගීකරණය කරයි. 2009 වසරේ හඳුන්වාදෙනු ලැබූ “ශ්‍රී ගැමුණු” හා “ශ්‍රී විජය” නම් ප්‍රභේද ද්විත්වයද ඉහළ අස්වනු ලබා දෙන ප්‍රභේදයන් ලෙස සැලකේ.
භෝග ස්ථාපනය
රෝපණයට සුදුසු බීජ සහිත කුරුඳු ශාකයක්
කුරුඳු පැල ලබා ගැනීම බීජ මඟින් හෝ අතු මඟින් සිදු කල හැකි ය. මහා පරිමාණ කුරුඳු රෝපණ කටයුතු සඳහා බීජ යොදා ගන්නා අතර එම බීජ තෝරා ගැනීමේදී හොඳ වර්ධනයක් සහිත, පලිබෝධ වලින් තොර, පොත්තෙහි මිහිරි එමෙන්ම සැර රසයක් ඇති මව් ශාක තෝරා ගත යුතු ය. එසේ ලබාගන්නා හොඳින් ඉදුණු බීජවල ඵලාවරණය තැම්බී ගලවා ඉවත් කිරීමට පහසු වන තෙක් දින කිහිපයක් ගොඩ ගසා තැබීම සිදු කරයි. අනතුරුව ඒවා හොඳින් සෝදා පස්, ගොම පොහොර, වැලි, සහ කොහුබත් සමාන ප්‍රමාණ ගෙන සකසා ගත් මිශ්‍රණය පුරවන ලද පොලිතීන් මළුවල සිටුවිය යුතු ය. එක් පොලිතීන් මල්ලකට බීජ හතත් දහයත් දක්වා ප්‍රමාණයක් රෝපණය කල හැකි ය.
වැඩුණු පැළවලින් හොඳින් වර්ධනය වූ ඒවා පහක් පමණ හැරුණු කොට ඉතිරිය ඉවත් කරනු ලැබේ. මාස හතරත් හයත් අතර කාලය ඇතුලත මේවා වගාබිම තුළ රෝපණය කල හැකි ය. අතුවලින් පැළ ලබාගැනීමේදී තරමක් මේරූ කොළ පැහැති තනි ගැටයක් හා තනි පත්‍රයක් සහිත ඍජු අතු භාවිත කරයි. පෙර සඳහන් කළ මිශ්‍රණය සහිත පොලිතීන් මළුවල දමා කපා ගත් අතු සිටුවා තඹ අඩංගු දිලීර නාශකයක් යෙදිය යුතු ය. මෙම පැළ හොඳ ආර්ද්‍රතාවයක් යටතේ පොලිතීන්වලින් වසා තැබිය යුතු ය. සති හතරකට පසුව වල්පැළෑටි ඉවත් කර ජලය යොදා පැළ වර්ධනය වීම පිණිස පෙර පරිදි වසා තැබිය යුතු ය. මේවා වගාබිමක් තුළ සිටුවිය හැකි වන්නේ මාස අටකින් පමණ පසු ය.
ක්ෂේත්ර රෝපණය
පැළ සිටුවීමට සූදානම් කළ යුතු වළවල් සෙන්ටිමීටර 30×30×30 ප්‍රමාණයෙන් සූදානම් කල යුතු ය. වගා පරතරය සඳහා 4×4, 4×3, හෝ 4×2 යනාදියෙන් ඕනෑම පරතරයක් අනුගමනය කල හැකි ය. අඩු පරතරයක් අනුගමනය කිරීම මඟින් පළිබෝධ හානි, වල් පැලෑටි වර්ධනය, පාංශු ඛාදනය, හා පොතු රළු වීමේ රෝගය අවම කර ගත හැකි ය. ක්ෂේත්‍රයට මුල්වරට පොහොර යෙදීම රෝපණයෙන් මාස හයකට පසුව ආරම්භ කල යුතු ය. ඉන් අනතුරුව වාර්ෂිකව පොහොර යෙදීම සිදු කරයි. නිර්දේශිත පොහොර මිශ්‍රණය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 900කි. එම පොහොර මිශ්‍රණය සකසා ගත යුත්තේ යූරියා කොටස් දෙකකට රොක් පොස්පේට් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් එක් කොටසක් වශයෙනි. නැතහොත් වෙළඳපොලේ ඇති කුරුඳු පොහොර මිළදී ගත හැකි ය. අවුරුදු හතරක් පමණ වයසැති කුරුඳු පඳුරකට මෙයින් ග්‍ර්රෑම් 200ක් සෑහේ. නමුත් කුඩා පැල සඳහා මේවා යෙදීම සුදුසු නොවේ.
පැල පුහුණුව හා කප්පාදුව ආරම්භ කිරීමට සුදුසු වන්නේ අවුරුදු එකහමාරත් දෙකත් අතර කාලයයි. කුරුඳු ගසක කදේ අඩි එකහමාරක් පමණ උසට යන තෙක් ඇති හරස් අතු ඉවත් කර පඳුරට හිරු එළිය හොඳින් ලැබීමට සලස්වා ඍජු කුරුඳු ගස් ලබා ගැනීම මෙහි අරමුණයි. මෙය අලුත් මොටි ඇතිවීමටද හේතු වේ.
පළිබෝධකයන්ගේ බලපෑම හා වෙනත් රෝග
කුරුඳු වගාවට හානී සිදු කරන පළිබෝධකයන් අතර කුරුඳු කඳ විදින සළඹයා, රෝස තද පණුවා, කුරුඳු රිකිලි විදින ගුල්ලා, පැළ මැක්කා, පත්‍ර මත උමං තනන්නා, හා පත්‍ර ගොටු තනන පණුවා ප්‍රධාන වේ. එසේම පොත්ත රළු වීමේ රෝගය, කොළ අංගමාරය, හා කළුපිටි පුස් රෝගය කුරුඳු වගාව ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන රෝග වේ.
කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන
අපනයනය හා දේශීය වෙළඳපොල වෙත නිකුත් කිරීම සඳහා කුරුඳු කූරු ස්වරූපයෙන් සකසා ගනියි. මීට අමතරව පොතු (chips) , කුඩු (powder), හා සියුම් සිවි (featherings) යනාදී ආකාරවලින්ද කුරුඳු වෙළඳපොල තුළ දක්නට ලැබේ. ගෘහස්ත පරිභෝජනය හැරුණු කල, සුවඳ විලවුන් හා දන්තාලේප නිෂ්පාදයට අවැසි අමුද්‍රව්‍යක් ලෙසත් තේ නිෂ්පාදනයටත් කුරුඳු උපයෝගී කර ගනියි. කුරුඳු ගසක මුල්, පොතු, කොළ, අතු, ගෙඩි යනාදී සියළුම කොටස් මොනයම් හෝ කාර්යයකට ප්‍රයෝජනවත් වේ. පොතු ඉවත් කරන ලද කුරුඳු කෝටු දර සඳහාත්, අලංකරණ කටයුතු සඳහාත් යොදා ගනියි. කුරුඳු පොතු, කොල, ගෙඩි හා මුල් තෙල් නිස්සාරණය සඳහා භාවිත කල හැක. පොතු යොදා නිස්සාරණය කරනු ලබන තෙල්වල සිනමැල්ඩිහයිඩ් නම් රසායනිකය අඩංගු වන අතර කොළවලින් සකසා ගන්නා තෙල්වල ඉයුජිනෝල් අඩංගු ය. කපුරුවල අඩංගු වන කැම්පර් සංඝටකය සහිත වාෂ්පශීලි තෙල් කුරුඳු මුලෙන් ලබා ගනී. කුරුදු ගෙඩිවලින් ලබාගන්නා තෙල්වල අඩංගු ප්‍රධාන සංඝටක වනුයේ කැඩිනීන් ය.
ආයුර්වේද ග්‍රන්ථවල කුරුඳු හොඳ උත්තේජකයක් ලෙස හැඳින්වේ. එසේම, එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් අන්තර්ගත ය. ශරීරයේ ඌෂ්ණ ස්වභාවය දුරු කිරීම, විදුරු මස් හා දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීම, තුවාල සුවපත් කිරීම, අධික ශීතල දුරු කිරීම, රුධිර සංසරණය පහසු කර හෘද රෝග වලක්වාලීම, හා ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීම යනාදිය එදිනෙදා ආහාර වේලට කුරුඳු එක්කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභයන් ලෙස දැක්විය හැකි ය.
කුරුඳු වගාවේ මූලික අදියර කිහිපයක් පිළිබඳ ලිපිය මේ විදියට අවසන් වෙනවා. වෙළඳපොලෙන් මිළට ගන්න තියෙන කුරුඳු කූරු, චිප්ස්, ෆෙදරිංග්ස් හැදෙන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙදි අපි බලමු. මේ ලිපියේ අන්තර්ගත පින්තූර සියල්ලම අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා. ඒ සියල්ලේම මුල් අයිතිකරුවන්ට ස්තූතියි!
සුභ දවසක්!
ආශ්‍රිත වෙබ් පිටු: