දිවිය දිරියෙන් දිනූ මධූ

by | අගෝ. 12, 2022 | කෙටිකතා | 0 comments

Dinithi Fernando

Dinithi Fernando

Author

“ඔන්න දෝනි අක්කට වඩා වැඩිපුර එක ලකුණක් හරි ගන්න ඕන” ඒ මධූගේ තාත්තා මධූට දුන් මුල්ම අභියෝගයයි. ඒ 2007 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය ලියන දිනයේදීයි. රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද මධූ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම සමත් වූයේ තාත්තගේ අභියෝගයද ජය ගනිමිනි. මේ ජයග්‍රහණයට මධූගේ දක්ෂතාවය මෙන්ම ඇගේ එකම සොයුරියගෙන් ලැබුණු නොමද සහයෝගය ද බෙහෙවින්ම උපකාර විය. ශිෂ්‍යත්ව කඩයිමෙන් සමත්ව කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට තේරී පත්වීමට මධූට අවස්ථාව හිමි විය. 6 ශ්‍රේණියේ සිට ම ඇය බෙහෙවින් ම දක්ෂ වූයේ ගණිතය විෂයටයි.

මේ අතරතුර කාලයේ දී ඇයගේ සැඟවුණු දක්ෂතාවයක් කැපී පෙනෙන්නට විය. ඒ කවි ලිවීමේ හැකියාවයි. 6 ශ්‍රේණියේ සිට ම සිංහල භාෂා හා සාහිත්‍ය තරඟාවලියට විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අතර කාව්‍ය රචනා අංශයෙන් ඇගේ දක්ෂතාවය කැපී පෙනෙන්නට විය. මධූ ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය වූයේ 9 ශ්‍රේණියේ දී සිංහල භාෂා හා සාහිත්‍ය තරගයේාවලියේ කාව්‍ය රචනා අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය ලබා ගැනීමයි. කෙටි කාලයක් තුළ තම සිතෙහි පහළවන කවි සිතුිවිලි අකුරු කරන්නට ඇයට මනා හැකියාව තිබුණි . පාසලේ අධ්‍යයන කටයුතු සඳහා වූ විශේෂ අවධානයක් යොමු කළ ඇය ‍ක්‍රීඩාවක් ලෙස තෝරා ගත්තේ බැට්මින්ටන් ක්‍රීඩාව. එසේම කෙටි දුර ධාවන නිරතවීමේ හැකියාව තිබූ ඇයට විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ දී තම නිවාසය නියෝජනය කරමින් මීටර් 100 ධාවන ඉසව්වට ඉදිරිපත් වීමට හැකි විය.

 කවි ලිවීම                                                                                                      කවි ලිවීම

 

ශිෂ්‍යත්ව විභාගයේ දී මධූට අභියෝගයක් ලැබුණද සාමාන්‍ය පෙළ විභාගයේදී තත්ත්වය වෙනස් විය. මෙහිදී ඇය විසින්ම තමාට අභියෝගයක් සකස් කර ගත්තාය. ඒ තම සොයුරිය පරයා නැගී සිටීමට නොව සාමාන්‍ය පෙළ විභාගයට A 9ක විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමයි. ඇය සහභාගි වූ ගණිතය හා විද්‍යා පන්තියේ ඇය කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූයේ තම දක්ෂතාවයෙන්ය. “මධූට නං A 9 ඇති අනිවාර්යෙන්”මේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වූ දිනයේ දී පාසලට ප්‍රතිඵල ලබා ගන්නට පැමිණි සිසුවියන්ගෙන් ඇසුනු දෙයයි. එලෙසින්ම මධූ තමා විසින්ම සාදාගත් අභියෝගයට සාධාරණයක් ඉෂ්ට කරමින් A 9ක සාමාර්ථයක් ලබා ගෙන සාමාන්‍ය පෙළ විභාගයද ජය ගැනීමට සමත් විය. උසස් පෙළ විභාගයේ දී ඇය තෝරා ගත්තේ තම එකම වැඩිමල් සොයුරියගේ මාර්ගයයි. ඒ අනුව ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට ඇය තීරණය කළාය.මේ වන විට මධුගේ වැඩිමල් සොයුරිය ලංකාවේ තිබෙන සුන්දරම විශ්වවිද්‍යාලයක අවසන් වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටියාය.

මේ කාලයේදී මධූ ටත් හොරා මධු දෙස විපරම් ඇසින් බලන කෙනෙකු ඇගේ ගම්මානයේ සිටියේය. ඔහු මධුගේ සම වයසේම පසුවන කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ඉගෙන ගන්න දුරින් මධූට නෑකම් කියන්නා වූ පුද්ගලයෙකි. නමින් ප්‍රසාද් වන මොහු සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත්තෙකි. දෙදෙනාම එකම ගම්මානයේ වෙසෙන අතර උසස් පෙළ උපකාරක පන්ති යාමේදී ප්‍රසාද්ගේ දෙනෙත් නිතරම මධූව සෙව්වේය.
“අද නම් කොහොම හරි නම්බර් එක ඉල්ල ගන්න ඕන.”                                                                                                                                             මෙසේ සිතමින් ඔහු බස් නැවතුම්පළේ සිටි මධු දෙසට පිය මැන්නේය.
“නංගි, ගමේ බස් එක සමහර දවස්වලට විනාඩි පහක් දහයක් කලින් එනවනේ.මට දැන් දවස් දෙක තුනක්ම බස් එක බැරි වුණා.නංගි කොහොමත් පන්ති ඉවර උන ගමන් ඉක්මනටම එනවනේ. ඒ හින්ද කලින් බස් එක ආවොත් නංගිට පුළුවන් වෙයි මං එනකම් බස් එක නවත්තගන්න. ඒ හින්ද මට….මට.. නංගිගෙ නම්බර් එක ඉල්ල ගත්තොත් නංගිට පණිවුඩයක් දෙන්න පුළුවන් වෙයි මං කොහෙද ඉන්නේ කියලා.”

“ඒක නම් ඇත්ත තමයි අයියේ. මගේ නම්බර් එක dial කරගන්නකො එහෙනම්. බින්දුවයි හතයි එකයි විසි දෙකයි හතළිස් හතරයි දෙසිය විසි දෙක.”

“අන්න බස් එක එනවා නංගි”

සුපුරුදු පරිදි බස්රියේ වෙන් වෙන්ව අසුන් ගත් ඔවුන් දෙදෙනා බස් රියෙන් බැස කිසිදු කතාවකින් තොරව ගමන් කලත් ප්‍රසාද් ගේ සිතෙහි නම් මධූට කියන්නට බොහෝ දේ ගොඩ ගැසී තිබුණි. සවස් යාමයේදී මධූගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබී තිබුණි.

” නංගි, අද යාන්ත්‍ර විද්‍යාව ගණන් ටික හැදුවද?”

මින් පෙර කිසි දිනෙක පිරිමි ළමයෙකුගෙන් කෙටි පණිවිඩයක් නොලත් මධූ මෙයට පිළිතුරු දෙනවාද නැද්ද යන්න බොහෝ වේලා කල්පනා කළාය.
“ආ..අද ප්‍රසාද් අයියා මගේ නම්බර් එක ඉල්ලගත්තා නේද? මට ඒක අමතක උනානේ…”මධූට කල්පනා විය. සිත පොරබදිමින් අවසානයේ ජයග්‍රහණය කර වූයේ “කමක් නෑ අදට විතරක් පිළිතුරු දෙනවා” යනුවෙනි.

“තාම නෑ අයියේ මං හැදුවහම කියන්නම් .”

ජංගම දුරකතනය පසෙකින් තැබූ ඇය ගණන් ටික සෑදීමට පටන් ගත්තාය. සිද්ධාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ඇය ගණන් ටික සාදා නිම කළේ රාත්‍රිය වන විටයි.

“නංගි ගණන් ටික හදලා ඉවර ද?” ප්‍රසාද්ගෙන් නැවත කෙටි පණිවිඩයක් ලැබුණි.
“ඔව් අයියේ. “මධූ පිළිතුරු දුන්නාය.

මෙලෙස ඇරඹුණු කතාබහ පසුදින අලුයම 2 පමණ වන තෙක් දික් වූයේ මධූ හා ප්‍රසාද් යන දෙදෙනා ඉතා හොඳ මිතුරන් බවට පත්කරමිනි. මෙනිසාම වෙනදාට බස් නැවතුම්පොලේ දෙතැනකට වී සිටි මොවුන් දෙදෙනා දැන් එකම තැනට වී කතාබස් කරමින් සිටී. මේ මිතුරුකම ප්‍රසාද්ගේ මවුපියන්ටත්, මධුගේ මවුපියන්ටත් බාධාවක් නොවූයේ දෙදෙනාම දුරින් නෑ වන නිසාවෙනි. එහෙත් දිනක් උපකාරක පන්ති නිම වී නිවසට පැමිණි මධූට ඇගේ මව මෙසේ පැවසීය.

“දෝනි, ප්‍රසාද් පුතා එක්ක තියෙන යාලුකම ඊට එහා නම් දුර ගෙනියන්න එපා. අක්කත් බොහොම හොඳට හිටපු කෙනෙක් නේ.ඔයත් ඒ විදිහට ඉන්න.”

මේ කියමනට හිස නැමූ ඇය සුපුරුදු පරිදි තම වැඩකටයුතුවල නිරත වූවාය. එවිටම ඇගේ මතකයට ආවේ අද උපකාරක පන්ති අවසන් වී පැමිණෙන විට ප්‍රසාද්ගෙන් ඉල්ලාගත් ඔහු ගේ සටහන් පොතයි. ඇයට ගිය සතියේ පන්ති යෑමට නොහැකි වූ බැවින් ඇය ඔහුගේ පොත ඉල්ලා ගෙනවිත් තිබුනේ සටහන් ටික සම්පූර්ණ කර ගැනීමටයි. පොත දිග හරින ලද ඇයට එය තුළ තිබෙන කුඩාවට නවන ලද ලිපියක් යැයි සැලකිය හැකි යමක් නෙත ගැටුණි. වික්ෂිප්තයටත්, කුතුහලයටත් පත් ඇය ඒ දිගහැරියේ කුමක් ඒ තුළ අන්තර්ගත දැයි සොයා බැලීමටයි. CR පිටු දෙකක සම්පූර්ණයෙන්ම ලියා තැබූ මෙම ලිපිය ඇය අකුරක් නෑරම කියවන්නට විය. ලිපිය කියවා අවසන් වනවාත් සමඟම ඇගේ සිත් තුළ දෝංකාර දුන්නේ මීට මොහොතකට පෙර ඇගේ මව පැවසූ දෙයයි. නැවතත් ඇගේ සිත දෙපැත්තකට වී දබර කරන්නට විය. මෙවරද ජය ගත්තේ මධූගේ සිත තුළ වූ මධූ වැඩි කැමැත්තක් දැක්වූ තීරණයයි.

අවසානයේදී මධූ සිතාගත්තේ,
” අපි දෙන්නා උසස් පෙළ හොඳට කරගන්නවා. අපිට පුළුවන් වෙයි. ඒ වගේම මම ප්‍රසාද් අයියට කැමැත්තත් දෙනවා.”

හමුවීම                                                                                                        හමුවීම

 

මෙලෙසින් ඇරඹුණු ඔවුන්ගේ පෙම් කතාව මධූගේ දෙමව්පියන්ට මෙන්ම ප්‍රසාද්ගේ දෙමව්පියන්ටත් , උපකාරක පන්ති වල ගුරුවරුන්ටත්, සිසුන්ටත් නොරහසක් විය. ඊට හේතුව වූයේ ඔවුන් දෙදෙනා සෑම දෙයක්ම පාහේ එක්වී සිදු කරනා බැවිනි. උපකාරක පන්ති වල විවේක කාලයේදී එක්ව ආහාර ගන්නා මොවුන් දෙදෙනා විවේක කාලය අවසන් වන තෙක් කතාබස් කරමින් සිටී.

මධූ සහ ප්‍රසාද් යන දෙදෙනාම නිවසින් දැඩි අවවාද අවවාද මෙන්ම දඬුවම් ලැබූව ද මෙම සම්බන්ධතාවය නතර කිරීමට එකඟ වූයේ නැත. ඔවුන්ගේ සම්බන්ධතාවයට කෙතරම් බාධක ආවා ද කිවහොත් , ඔවුන් යන උපකාරක පංතියක ගුරුවරයෙකු පැවසූයේ දෙදෙනාගෙන් කිසිවකුටත් පළමු වර විශ්වවිද්‍යාල වරම් ලබා ගත නොහැකි වනු ඇති බවයි. කාටත් නොදැනී ම උසස් පෙළ විභාගයේද ලන් වුයේ මේ අතරතුරදීය. පෙම් සබඳතාවයට මූලිකත්වය ලබා දී තිබූ හෙයින් සිද්ධාන්ත ආවරණය කරගෙන ස්වයං අධ්‍යනයේ නිරතවීමට ඔවුන් දෙදෙනාටම ප්‍රමාණවත් කාලයක් නොලැබුණි. එසේම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න පත්‍ර අවසන් කර ගැනීමට ද ඔවුනට කාලයක් නොලැබුණි.

එබැවින් සිතාගත් පරිදි උසස් පෙළ විභාගයෙ පළමු වාරයේ දී ඇයගේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට ඇයට නොහැකි විය. දෙවරක් උසස් පෙළ විභාගයට වියදම් කිරීම්ට පවුලේ ආර්ථික තත්ත්වයක් මධූට මෙන්ම ප්‍රසාද් ටද නොතිබුණි. ප්‍රසාද් ඔහුගේ නැන්දලා ගේ නිවසේ සිට ඔවුන්ගේ උදව්වෙන් උසස් පෙළ දෙවන වර සඳහා වියදම් පිරිමසා ගැනීමට තීරණය කළේය. මේ වන විට මධූගේ වැඩිමල් සොයුරිය රැකියාවක් කරමින් සිටී. ඇය නිවසට පැමිණ මධූට දීර්ඝ වශයෙන් අවවාද දුන්නාය. අවසානයේදී උසස් පෙළ දෙවන වර මුහුණදීමට සිටින මධූ හට වියදම් පිරිමසා ගැනීමට ඇගේ වැඩිමල් සොයුරිය උපකාර කරන බවට තීරණය විය. වැඩිමල් සොයුරිය එක් පොරොන්දුවකට ඇය හා ගිවිස ගත්තාය. එනම්, උසස් පෙළ අවසන් වූන වනතුරු පෙම් සබඳතාවයට කිසිදු ඉඩක් නොතබන ලෙසයි.සියලු කරුණු කාරණා හොඳින් අවබෝධ කරගත් මධූ තම පෙම්වතා වූ ප්‍රසාද් හට කෙටි පණිවිඩයක් මෙසේ සඳහන් කරන්නට විය.

“අයියේ, ආයේ මං එනකං class ඉවර වෙලා බලන් ඉන්න එපා ඉස්සර හිටිය වගේ. තාම අවුරුද්දක්වත් නෑ exam එකට. මේක අපි දෙන්නටම ගොඩක් තීරණාත්මක කාලයක්. අපි දෙන්න ගොඩනගපු හීන හැබෑ කර ගන්න නම් මේ අවුරුද්ද අපි දෙන්නට ඈත්වෙලා ඉන්න වෙනවා. ඒ හින්දා හොඳට පාඩම් කරගන්න. හොඳට වැඩ ටික කරගන්න . මම අක්කට පොරොන්දු වෙලා තියෙන්නෙ මේ සම්බන්දෙට මූලිකත්වය දෙන්නේ නෑ කියලා A/l ඉවර වෙනකන්. ඒ හින්දා exam results ආවට පස්සෙ මම ඔයාට කෝල් කරන්නම් එතකම් පරිස්සමට ඉන්න. ඔයාට බුදු සරණයි.”

මධු නැවතත් උසස් පෙළ විභාගය සඳහා සූදානම් විය. ඇගේ එකම සිහිනය වූයේ ඉංජිනේරුවන්ගේ තෝතැන්න ලෙස හැඳින්විය හැකි විශ්ව විශ්වවිද්‍යාලයයි.  ඇය ඒ සඳහා කැපවීමෙන්, අධිෂ්ඨානශීලීව වෙහෙස මහන්සි විය. එකම ප්‍රශ්න පත්‍රය කිහිප වරක් කරමින් මනා පුහුණුවක් ලැබීමට ඇයට හැකි විය.එසේම උපකාරක පන්ති වලදී සිසුවියන්ගෙන් සිත් රිදවන සුළු වචන ද ඇයට නොඅඩුව අසන්නට ලැබුණි. ඒ කිසිවකින් නොසැලුණු ඇය උපකාරක පන්ති වල තනිවම තම අධ්‍යන කාලය ගත කරන්නට විය.

“සරසවිය දුර නොවේ “මේ ඇයට නිවසේදී සෑමවිටම දර්ශනය වන ආකාරයට ලියාගෙන තිබූ පාඨයයි. රසායන විද්‍යා විෂයට විශේෂ දක්ෂතාවයක් දැක් වූ ඇය බියෙන් පසු වූයේ භෞතික විද්‍යා විෂයටයි. 2017 උසස් පෙළ විභාගයෙ ප්‍රතිඵල නිකුත් වන දිනය ක්‍රමයෙන් උදාවන්නට විය. නිදි වර්ජිතව රෑ පහන් කළ මධූ තම ජංගම දුරකතනය අතට ගත්තේ රෑ 12 කණිසම පසු වනවාත් සමඟයි.
“A – Combined Mathematics
A – Chemistry
C – Physics”
ජංගම දුරකථන තිරයේ දිස් වූ මෙම ප්‍රතිඵලය දුටු විගසම මධු හඬා වැටෙන්නට විය.
“අනේ මගේ හිනේ” මෙසේ කියමින් ඇය ඉකි ගසමින් හඬන්නට විය. ඇගේ වැඩිමල් සොයුරියට ඇය දුරකථනය ඇමතුමක් ගෙන් ප්‍රතිඵල පැවසූ විට ඇය තම නැගෙනිය අස්වසාලන්නට විය.

“නංගී බයවෙන්න එපා කැම්පස් යන්න බෝට්ටු chance වත් හරියයි.”

අක්කාගේ මේ කියමනත් සමග මධු සෑම දිනකම පාහේ ප්‍රාර්ථනා කළේ එයයි. දින සති මාස ගණන් ගෙවී සරසවි කඩයිම් ලකුණු නිකුත් විය. මධූ තේරී පත් වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවකටයි. තාමත් මධුූ සිටින්නේ යටි සිතෙහි තිබෙන සිහිනය යථාර්ථයක් වන දිනයක් ගැන සිහින දකිමින්ය. නොසිතූ මොහොතක පැමිණි දුරකථන ඇමතුමක් එම සිහිනය යථාර්ථයක් කළේය.

“Is this Madu Fernando? This is from the University. The Inauguration Ceremony for the new batch……..”

මධූ මේ දකින්නේ සිහිනයක් දැයි ඇයට ම සිතා ගත නොහැකි විය.

මෙම කතාවේ එන සියලු නම් ගම් මනකල්පිත වන අතර මෙම කතාව මාගේ රුචිකත්වය මත ලියන ලද කතාවක් වේ.
පසු වදනක් ලෙස මෙසේ ලියන්නම්.

වයසින් මුහුකුරා යත්ම අප සැමට අනන්‍ය වූ සිහින ඇත. ඒ සිහින මවා ගත් පමණින් ඒවා යථාර්ථයක් වන්නේ නැත. ඒ සිහින සැබෑ කර ගන්නට අධිෂ්ඨානශීලීව කැපවිය යුතුය.එක්වරක් වැටුණු පසු නැවත නැඟිටීමේ ශක්තිය අප විසින් ගොඩ නගා ගත යුතුය. කොතෙක් කරදර බාධක ආවත් එම සිහිනය හඹා යන්නට අප වීර්යවන්ත විය යුතුමය. මා මේ ලියු කතාවෙන් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට වටිනා ඔවදනක් ලබාගත හැකි යැයි මම විශ්වාස කරමි.

Featured image taken

මගේ_සිංහල_කෙටි_කතාව සංවාදයට ඔබත් සහභාගී වී තෑගි දින ගන්න  

SEO SCORE %

79 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

6.74

Visitors liked the post