කොරෝනා වසංගත තත්ත්වය හමුවේදී ලෝකයේ සිටින බොහෝ දෙනා මේ වන විටත් පරිගණකයට වඩාත් සමීප වී තිබෙනවා. එයට හේතුව, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තමයි බොහෝ ස්ථානවල බොහෝ කටයුතු සිදුවෙමින් පවතින්නේ. පරිගණක තිරය දෙස පැය ගණනාවක් බලා සිටීමෙන්, ඔබේ දෑස්වලට සිදුවන හානිය පිළිබඳ ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද? ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ඔබ කැමතිද?එසේ නම් මේ ලිපියෙන් ඔබට ඒ සඳහා ඉඩහසර ලබාගන්න පුළුවන්.
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මා ලද අත්දැකීම් මෙසේ ඔබ හමුවේ දිග හරින්නම්…
ඔබටත් මෙසේ දැනෙනවාද?
වර්තමානයේදී බොහෝ දෙනා පරිගණක තිරය දෙස පැය ගණනාවක් බලා සිටීම සුලභ කරුණකි. මෙහිදී අපටත් නොදැනීම අපේ දෑස් වලට සිදුවන හානිය ඉතා විශාලයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මා හටද අක්ෂි වෛද්‍යවරයෙකුගේ සහය පැතීමට සිදුවිය.මා එම අක්ෂි වෛද්‍ය වෛද්‍යවරයාගෙන් ලබා ගත් දැනුම පරිදි, මෙහිදී සංකූලතා රැසක් ඇති වීම සිදු වේ. එම සංකූලතා සංෂිප්තව පහත පරිදි දැක්විය හැක.
- දැඩි ආලෝකය සඳහා සංවේදී බව
- පෙනීම බොද වී යාම
- හිසරදය
- ඇස් වියළීම
- අක්ෂි විඩාව
- ඇස් දැවිල්ල
- ගෙලෙහි සහ උරහිස් වේදනාව
- ද්විත්ව දර්ශන පෙනීම.
මට තිබුන රෝග ලක්ෂණ අනුව, වෛද්‍ය වෛද්‍යවරයා මට පැවසූ දේ මෙසේ දක්වන්නම්.
ඔබගේ ඇස් වැඩි ආලෝකය සඳහා අධිකව සංවේදී බවක් දක්වන්නේ නම් එය සැලකිය යුතු කරුණක් වෙයි. එනම් ඔබගේ දෑස් විඩාවට පත්වී වී ඇත. ඔබ අවට ඇති කිසියම් වූ වස්තුවක් දෙස බැලීමේදී පෙනීම බොදවී යාමට ලක්වේයිද? එම වස්තුව නිසි පරිදි ඇසට ග්‍රහණය කර ගැනීමට ඔබට අපහසුවක් දැනේද? ඔබගේ දෑස්වලට කඳුළු පැමිණීමක් සේ දැනෙන්නේද?මේ ලක්ෂණ ඔබට තිබෙනවා නම් මෙයින්ද පැහැදිලි වන්නේ ඔබගේ දෙනෙත් වලට විරාමයක් අවශ්‍ය බවයි. හිසේ දෙපසින් ඉවසා ගැනීමට තරම් අපහසු අධික වේදනාවක් දැනීමද තවත් සංකූලතා ලක්ෂණයකි. මෙය මා අත්දැකීමෙන්ම දන්නා කරුණුකි. මා අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට මූලික හේතුවක් වූයේ ද මෙයයි. ඇස් වියලීම සහ අක්ෂි විඩාව තවත් ප්‍රධාන සංකූලතාතාවයකි. පෙරට වඩා දෑස් විවෘතව තබා ගත හැකි කාලය අවම වීම අක්ෂි විඩාවේ මූලික ලක්ෂණයක් වෙයි.ඇස් වියළීමේ ප්‍රතිඵලයක් ලෙස ඇස් දැවිල්ල නම් වූ සංකූලතා ලක්ෂණය ඉස්මතු වීම සිදුවේ. මේ සංකූලතාවයෙදී නිසැකවම අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
මාංශ පේශි වල යම් වේදනාවක් දැනීම මූලිකවම ඇතිවන තවත් සංකූලතාවක් වේ. මාංශපේශී වල වේදනාව මෙහිදී ආකාර කිහිපයකින් ඇතිවීම සිදුවේ. යම් පිරිසකට ගෙලෙහි වේදනාව ඇතිවීම සංකූලතා ලක්ෂණයක් වීම සිදුවිය හැක.තවත් පිරිසකට උරහිස් වේදනාව ඇතිවීම සිදුවිය හැක. එසේම තවත් පිරිසකට මෙම ලක්ෂණ දෙකම ඇතිවනු ඇත.
කිසියම් වූ වස්තුවක් දෙස බලන විට එය දර්ශන දෙකක් ලෙස පෙන්නුම් කිරීම තවත් සංකූලතාවයකි. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ නම් අප අවධානය යොමු කරන වස්තුවේ තනි දර්ශනයක් වෙත ඇස් නාභිගත කිරීම අපහසුවේ. එසේ ඇස් නාභිගත කිරීමට උත්සාහ කරන විට ඇස්වල වේදනාවක් ඇතිවීම සිදුවේ.මේ කරුණද මා අත්දැකීමෙන්ම ලද්දකි.
මේ සංකූලතා මගහැර ගන්නේ කෙසේද?
නිවැරදි ක්‍රියාකාරකම් මඟින් ඉහත සඳහන් කළ සංකූලතා අවම කරගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. මා උපදෙස් හා සහය ලබා ගත් වෛද්‍යවරයා මට මෙසේ පැවසීය. මේ සංකූලතා මගහරවා ගැනීමට පොදුවේ කළ හැකි දේ පහත පරිදි දැක්විය හැක.
සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ඇස් පිල්ලන් ගැසීම විනාඩියකට වාර 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් විය යුතුවේ. එසේ වුව ද සලකා බැලිය යුතු වැදගත්ම කරුණ නම් පරිගණක භාවිතයේදී මෙසේ සිදු නොවේ. පරිගණක භාවිතයේදී ඇස් පිල්ලම් ගසන වාර ගණන ඉතා අවම වේ. වෛද්‍ය විද්‍යාවට අනුව කඳුළු රැඳීම ඇස්හි නිති ක්‍රියාකාරීත්වයට මහඟු සේ උපකාරී වේ.එබැවින් නිතර ඇස් පිල්ලන් ගැසීම අත්‍යවශ්‍ය වේ. එනිසා ඔබත් පරිගණක තිරය භාවිතයේදී අවධානයෙන් ම ඇස් පිල්ලන් ගැසීම සිදු කරන්න. පරිගණක තිරය භාවිතයේදී අක්ෂරයන්හි ප්‍රමාණයද ඉතා වැදගත් කරුණක් වෙයි. එනම් අක්ෂරයන්හි ප්‍රමාණය කියවීම්ට පහසු අයුරින් විශාලව තිබිය යුතු වෙයි.පරිගණක තිරය, නිතර වැඩ කරන දුර මෙන් තුන් ගුණයක් වත් අවම වශයෙන් ඈතින් තිබිය යුතුය.එසේම සැලකිය යුතු තවත් කරුණක් නම් අඳුරු පැහැ අක්ෂර භාවිතයේදී පැහැදිලි පසුබිම් භාවිතා කළ යුතුය.
සාමාන්‍යයෙන් පරිගණකයක තිරය ඇසෙහි සිට අඟල් විස්සක්, එනම් අතෙහි දුරින් තිබිය යුතුයි. එසේම පරිගණක තිරය ඇස් මට්ටමේ සිට අඟල් හයත් අටත් අතර ප්‍රමාණයක් පහලින් තිබිය යුතුය. වෛද්‍ය විද්‍යානුකූලව පරිගණක තිරය භාවිතා කිරීමේදී දී අංශක 15ක කෝණයකට, එය පිටුපසට නවා තිබිය යුතුය. සෑමවිටකම පරිගණක තිරය අවම ආලෝකයකින් තිබීම වඩා වැදගත් වේ . මෙය කාමර ආලෝකය අනුව වෙනස් විය යුතුය. එසේම මෙහිදී සැලකිය යුතු වඩාත්ම වැදගත් කරුණ නම්, තිරයෙහි ආලෝකය පමණක් කාමරයේ තිබීම සුදුසු නොවේ. පරිගණක තිරයට සෘජුවම ආලෝකය වැටීම වැලැක්විය යුතුය. ඔබට හැකිනම්, කාමරයට ඇතුල්වන අධික ආලෝකය පාලනය කිරීම සඳහා තිර රෙදි භාවිතා කළ හැකිය.
ඉහත කී සංකූලතා අවම කරගැනීමට යතුරු පුවරුව යනාදියේ පිහිටීම්ද වැදගත් වේ. මෙහිදී යතුරු පුවරුව පාලනය යනාදිය වැලමිටට පහතින් තිබිය යුතුයි.එමෙන්ම ඉදිරියෙන් මැණික් කටුව තබා ගැනීමට ස්ථානයක් තිබීම ද වැදගත් වේ. එය දෙඅත් කෙලින් තබා ගැනීමට උපකාරිී වේ. විශේෂයෙන්ම මෙම ස්ථානය සුමුදු විය යුතුය. තවද සැපපහසු පුටුවක් භාවිතා කිරීම ද මෙසේ දෙඅත් කෙලින් තබා ගැනීමට උපකාරී වේ.
මෙසේ සිදු කර බලන්න..
සෑම විනාඩි 20කට වරක්ම, තප්පර 20ක් කාලයක්, අඩි 20ක දුරකින්, ඇති වස්තුවක් දෙස බැලීම මේ සංකූලතා අවම කර ගැනීමට මහත් සේ උපකාරී වේ. එසේ නොමැති නම් එම කාලය තුළ ඇස් දෙක වසාගෙන සිටීමද සිදුකළ හැකිය.
එසේම අක්ෂි ව්‍යායාම් සිදු කිරීම මගින්ද මෙම සංකූලතා අවම කරගත හැකිය. එනම් ඇස් වසා, හිමින් ඇතුල්තින්, ඔරලෝසුවක කටු මෙන් වාමාවර්තව හා දක්ෂිණාවර්තව ඇස් කරකැවීම සිදු කළ හැකිය.
මේ ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් පරිගණක තිරයේ භාවිතයෙන්, ඔබගේ ඇස් වලට සිදුවන හානිය අවම කරගැනීම නිසැකවම සාක්ෂාත් කරගත් හැකි වේ. මේ කරුණ මා අත්දැකීමෙන්ම වටහාගත් කරුණක් වේ.
මෙම ලිපිය සැකසීමේදී මා යොදා ගත්තේ, මා ලද අත්දැකීම් සහ මාගේ අක්ෂි වෛද්‍යවරයා ගෙන් මා ලද උපදෙසය. පරිගණක තිරය නිරන්තරයෙන් භාවිතා කරන ඔබගේ, ඇස් වල නිරෝගීභාවය සුරක්ෂිත කරගැනීමට මෙම ලිපිය උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.