ආයුර්වේදය යනු මීට වසර දහස්ගනනකට පෙර කට පමණ පෙර ඉන්දියාවේ ආරම්භ වූ සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කරන ලද පුරාණ වෛද්‍ය ක්රමයකි. ආයුර්වේදය යන සංස්කෘත යෙදුමේ තේරුම “ජීවිතය පිළිබඳ දැනුම” යන්නයි. ආයුර්වේදය යනු හිත, අහිත,සුඛ, දුක අනුව මිනිසාගේ ආයු කාලය පිළිබඳ දැනුමයි. ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙකක් තිබේ. ඒවා නම් නිරෝගී පුද්ගලයාගේ නිරොගීතාව පවත්වා ගැනීම සහ රෝගී පුද්ගලයාගේ රෝගිතාවය සුව කිරීම ය. නිරොගී හා යහපත් සෞඛ්යතත්වයක් පවත්වා ගැනීමට පුද්ගලයෙකු අනුගමනය කල යුතු ප්‍රතිපදාවක් ඇත. ආයුර්වේදයේ එම ප්‍රතිපදාව දින චර්යාව ලෙස හඳුන්වයි.
බ්‍රහ්ම මුහුර්තයේදී අවදි විම
ආයුර්වේදයට අනුව පුද්ගලයෙකු බ්‍රහ්ම මුහුර්තයේදී අවදි විය යුතුය. බ්‍රහ්ම මුහුර්තය යනු හිරු උදාවට මිනිත්තු හතලිස් අටකට පමණ පෙර උදා වන කාලයි. එය හිරු උදාවට පෙර රාත්‍රියේ අවසාන මොහොත ලෙස සැලකේ. භාවනාව හෝ යාඥා කිරීම වැනි අධ්‍යාත්මික ප්රතිපදාවන් වල යෙදිය යුතු කාලය එයයි. දීර්ඝායුෂ අපේක්ෂා කරන්නා බ්‍රහ්ම මුහුර්තයේදී අවදි විය යුතුය. එමෙන්ම ශරීරය තුල විවිධ හෝමෝනයන් නිපදවමින් ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවන් පාලනය කරනා අන්තරාසර්ග ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය ප්රශස්තමකාලය වන උදෑසන අවදි වීම එම ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වයට උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි. මෙය මානසික විවේකයට ද උපකාරී වේ. දැනුම ලබා ගැනීමට සුදුසුම මෙම කාලය යි . මෙම වේලාව පෙ.ව 4:15 සිට පෙ.ව 5:30 අතර යෙදේ.
පිබිදීමෙන් අනතුරුව ප්‍රථමව ඔහුගේ ශරීර කෘත්‍යයන් සිදු කර දෑත් සහ පාදද පිරිසිදු කළ යුතුය.
ජලය පානය කිරීම
ඉර පායන මොහොතේම ජලය ප්‍රස්ත අටක් (මිලි ලීටර් 960) පානය කරන පුද්ගලයා වසර සියයක් කිසිදු රෝගාබාධයකින් තොරව මහලුවීමට බියෙන් තොරව ජීවත් විය හැකි බව ආයුර්වේදයේ දැක්වේ.මේ සදහා හේතුන් ලෙස ජලය පානය කිරීම මගින් සෛල වෙත පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් රැගෙන යාම වේගවත් කිරීම,ආහාර දිරවීමට සහාය වීම,රුධිර පීඩනය සාමාන්‍ය කිරීම සැලකිය හැක. ජලය මගින් මුත්‍රාශයේ බැක්ටීරියා හා අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම නිසා මෙය මුත්‍රාගල් වැනි මුත්‍රාශය ආශ්රිත රෝග වළක්වා ගැනීමටද උපකාරී වේ.
දන්ත විශෝදනය
එමෙන්ම පුද්ගලයෙකු තම මුඛ සනීපාරක්ෂාව ගැනද සැලකිලිමත් විය යුතුය. මෙය ආයුර්වේදයේ දන්ත විශෝදනය කිරීම ලෙස හැඳින්වේ. දත් පිරිසිදු කිරීමේ දැහැටි කූරක් ආධාරයෙන් දිනකට දෙවරක් දත් පිරිසිදු කළ යුතුය. මෙමගින් මුඛයේ දුර්ගන්ධය නැතිකර, දිවේ, දත්වල සහ මුඛයේ අපිරිසිදුකම ඉවත් කර ආහාර රුචිය වැඩි කරයි.
ජිහ්වා නිර්ලේඛනය
ජිහ්වා නිර්ලේඛන හෙවත් දිව මැදීම මගින් දිව පිරිසිදු කිරීම මගින් දිවේ මුල තැන්පත් වී ඇති මල කොටස් ඉවත් කර මුඛයේ දුර්ගන්ධයක් නැති කරයි. ජිහ්වා නිර්ලේඛනය මුඛයට නැවුම් බවක් ලබා දී ආහාර දිරවීම හා ආහාර රුචිය වැඩි කරයි. දිවේ අපිරිසිදුකම මගින් රස අංකුර වලට බාධා කළ හැකි අතර මුඛ වණ ද ඇති විය හැක. ඒ නිසා ඔබ දත් පිරිසිදු කරන අතර දිව මැදිමද අමතක නොකරන්න.
ගන්දූෂ සහ කවලග්රහ
ආයුර්වේදයේ ගන්දූෂ සහ කවලග්රහ ලෙස ප්‍රාථමික මුඛ පිරිසිදු කිරීමේ ක්‍රම දෙකක් තිබේ. ගන්දුෂ සාමාන්‍යයෙන් ඖෂධීය ද්‍රව භාවිතයෙන් සිදු කරනු ලබන කිසිදු චලනයකින් තොරව මුඛයේ ද්‍රවයක් එහි සම්පූර්ණ ධාරිතාවයට තබා ගැනීමයි. කවලග්රහ යනු ද්‍රවයේ චලනය වීමට ඉඩ සලසන ලෙස ඖෂධනීය ද්‍රවයක් මුඛයේ තබා ගැනීමයි. මේවා හකු වල ශක්තියට, කටහඬේ ගැඹුරුබාවයට , මුහුණේ පේශි වල ශක්තිමත්බාවයට හා මුඛයේ තෙත් බව රැක ගැනීම යනාදියට ප්‍රයෝජනවත් වේ.
මුඛ ප්‍රතිසරණ
ප්‍රතිසරණ යනු ඇඟිල්ල භාවිතා කර මුඛයේ අභ්‍යන්තරයට ඖෂධ යෙදීමයි. මෙය ඉරුවාරදය, හිසරදය, බ්රොන්කයිටිස් සහ දත් ආශ්රිත රෝග සමනය කිරීමට උපකාරී වේ.
මුඛ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, ආයුර්වේදය Myristica fragrans, Areca catechu… ආදිය සමඟ බුලත් හැපීම නිර්දේශ කර ඇත. මුඛයේ පැහැදිලි බව සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.
ධූමපානය
ආයුර්වේද ඖෂධීය ශාක සමඟ සකස් කරන ලද ඖෂධීය දුම ආශ්වාස කිරීම ධූමපානය යි. මේ සදහා ශාක කොටස්වල වියලන ලද කුඩු ජලය සමග මිශ්‍ර කර සුරුට්ටු හැඩයට වියළනු ලැබේ. සුරුට්ටුව එක් කෙළවරක පුළුස්සා රෝගියාට නාසයෙන් දුම ආශ්වාස කරන ලෙසත් මුඛයෙන් පිට කරන ලෙසත් ඉල්ලා සිටී. මෙය ඕනෑම ආකාරයක හිසරදයක්, උගුරේ අවහිරතා සහ හිසකෙස් වැටීම වැළැක්වීමට උපකාරී වේ.
අංජන කර්ම
අංජන නොහොත් කොලිරියම් යනු ඖෂධීය ද්‍රව්‍ය ඇස මතට යෙදීමයි. සියලුම ඉන්ද්රියයන් අතරින් ඇස ඉතා වැදගත් වේ.
එනිසා සෑම දිනකම කොලිරියම් ඇස්වලට දැමිය යුතුය. කොලිරියම් නිතිපතා භාවිතා කිරීම ඇස්වල දීප්තිමත් ආලෝකයට ඔරොත්තු දීමේ හැකියාව සහ ඇස්වල ස්වභාවික දීප්තිය වැඩි කරන අතර ඇස් වල දැවෙන සංවේදනය, ඇස්වල රතු පැහැය, වේදනාකාරී කදුළු වැගිරීම ඉවත් කරයි.
ඉහත සඳහන් කළ සියලුම ආයුර්වේද ප්‍රතිකාර හුදෙක් රෝග සුව කිරීමට පමණක්ම භාවිතා නොකරන අතර මෙමගින් නිරෝගී පුද්ගලයෙකුගේ ස්වස්ථ බව පවත්වා ගැනීම සඳහා මාහැගි කාර්යයක් ඉටු කරයි. දිනපතා මේ චර්යාවන් අනුගමනය කරන නුවණැත්තා රෝගාබාධවලින් ඔබ්බට ගිය නිරෝගී බාවය ලබා මිනිසත් බවේ උපරිම ඵල නෙලගනී.
ආශ්රිත මූලාශ්‍ර;
- ආයුර්වේදීය සෞඛ්‍ය සංරක්ෂණ විධි-Dr. Ariyadasa kumarasinghe
- A Text Book Of Svasthavrutta-Dr.Mangalagowri V Rao
- A Text Book Of Svasthavrutta-Prof. dr. Subhash Ranade, Dr. Rajendra Deshpande ,Dr. Rajkumar B. Bbade