රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ අධ්‍යාපන සංකල්පය
රවීන්ද්‍රනාත් තාගෝර් Rabindranath_Tagore
ආසියාවේ පළමු නොබෙල් ත්‍යාගලාභියා යන විරුදාවලිය හිමිකරගත් රවීන්ද්‍රනාත් තාගෝර්තුමා 1861 මැයි මස 7 වන දින කොල්කටා හි උපත ලැබුවේ ය. එතුමාගේ පියා නමින් දේවේන්ද්‍රනාත් තාගෝර් වූ අතර මව නමින් ශාරදා දේවි විය. තම පියාගේ ආභාසයත් කලාව, සාහිත්‍ය, සංගීතය ආදීන්ගෙන් ස්වයංපෝෂීත පවුල් පසුබිමත් එතුමාගේ නොමැකෙන නාමය කෙරෙහි පසුබිම් වූ බව කියතොත් නිවැරදි ය.
රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වුයේ තම නිවස තුළ දීම ය. කුඩා තාගෝර් පාසල් යාම කෙරෙහි එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැත. ඔහු ඔරිඑන්ටල් සෙමෙනරි පාසලට ඇතුළත් කළ අතර එහිදී ඔහුට ඉතා දැඩි පාලනයක් යටතේ සිදුවන අධ්‍යාපන රටාවකට මුහුණ දෙන්නට සිදුවිය. හත් හැවිරිදි වියේ දී ඔහුව නැවත සාමාන්‍ය පාසලකට ඇතුළත් කරන ලදී. කුඩා තාගෝර් හට පාසල තුළ වූ කෘතීම පරිසරයට හුරු වීමට හැකි වූයේ නැත. වසර දෙකකට පසු ඔහුව බෙංගාල ඇකඩමියට ඇතුළත් කරවීය. එහිදී ඔහුට පාසල පෙනුණේ සිරගෙයක් ලෙස ය.
නමුත් ඔහු උදේ සවස නිවසේ දී තම අධ්‍යාපන කටයුතු කෙරෙහි සිත යොමු කළේ ය. ඒ සඳහා ඔහුගේ එක් සහෝදරයෙකුත් තවත් ගුරුවරුන් කීපදෙනෙකුත් ඔහුට සහය දැක්වීය. බෙංගාල සාහිත්‍ය සමඟ ඉංග්‍රීසි සාහිත්‍ය, සංගීතය, ඉතිහාසය, විද්‍යාව, ගණිතය ආදී වූ විවිධ විෂයන් හදාරන අතරතුර සාමාජික, ධාර්මික කටයුතු සමඟත් ඔහු සම්බන්ධ විය.
1878 වසරේ දී නීති අධ්‍යාපනය සඳහා එංගලන්තය වෙත ගිය ඔහු සාහිත්‍ය කෙරෙහි තිබු දැඩි ඇල්ම නිසාවෙන්ම නැවත 1881 දී භාරතයට පැමිණියේ ය. නීතිය පිළිබඳව උපාධිය සම්පුර්ණ නොකළ ද බොහෝ අත්දැකීම් හා දැනුමින් පන්නරය ලැබූ ඔහු තම සාහිත්‍ය දිවිය ආරම්භ කළේ ය. විශ්ව ප්‍රසිද්ධ කවියෙකු, දාර්ශනිකයෙකු, ගීත රචකයෙකු, කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍යකරුවකු සහ චිත්‍ර ශිල්පියෙකු යනාදී ලෙස ප්‍රතිභාපූර්ණ භූමිකාවන් ගණනාවකට හිමිකම් ලත් ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකු වශයෙන් රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ලොව ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයකි.
තමා අත්දකින ලද අධ්‍යාපන රටාවට අප්‍රසාදය පළ කරමින් තම අදහස් ක්‍රියාත්මක කරනු වස් මොහු 1901 දී ‘ශාන්තිනිකේතනය’ ආරම්භ කළේ ය. එසේ ඇරඹි ශාන්තිනිකේතනය 1921 දී ‘විශ්වභාරතී විශ්වවිද්‍යාලය’ නමින් ස්ථාපනය වෙමින් අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් දක්වා පසුකාලීනව විකසිත විය. 1922 වසරේදී ‘ශ්‍රී නිකේතනය’ ආරම්භ කරමින් ග්‍රාමීය අධ්‍යාපනයට මුලසුන සැපයූ අතර 1924 දී ‘ශික්ෂා සත්‍ර’ නමින් පාසලක් ද අරඹන ලදී.
විශ්වභාරතී විශ්වවිද්‍යාලය, Visva-Bharati-University
ශාන්නිතිකේතනය, Shantiniketan
වර්ෂ 1913 දී ඔහු විසින් විරචිත ‘ගීතාංජලි’ කෘතිය වෙනුවෙන් හිමි වූ නොබෙල් සම්මානය ඔහුගේ සාහිත්‍ය දිවියේ ලද ප්‍රශස්තම ඇගයීම ලෙස හුවා දැක්විය හැකිය. එසේම තවත් අවස්ථාවන් කීපයක දී ඔහු සම්මානයට පාත්‍ර වුයේ ය. සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් පමණක් නොව සාමාජික දේශපාලනික වශයෙන් ද අග්‍රගන්‍ය චරිතයක් ලෙස එතුමා ඉස්මතුව පෙනුණු බව නොකිවමනා ය. 1941 අගෝස්තු මස 17 වන දින මෙම ප්‍රතිභාපුර්ණ මිනිසා මෙලොවින් සමුගත්තේ ලොවට බොහෝ දායාදයන් එක් කරමිනි.
රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් අධ්‍යාපනය පිළිබඳ දැරූ සංකල්පය
රවීන්ද්‍රනාත් තාගෝර්තුමා තම කාලය තුළ පැවති අධ්‍යාපනික රටාව කෙරෙහි එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත. ඔහු 31 හැවිරිදි වියේ පසු වන විට එනම් 1882 වර්ෂයේ දී ලියූ ‘ශිඛාර් හේර් ෆේර්’ නම් ලිපියෙහි අධ්‍යාපනය පිළිබඳ තම අදහස මෙසේ දක්වා ඇත. ‘සිතීමේ ශක්තිය මනුෂ්‍යයාගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට ප්‍රධානවම බලපාන චිත්ත ශක්තියකි. ක්‍රියාශීලි හා නිර්මාණාත්මක ජීවන රටාවක් තුළ නව්‍යකරණය සහ නවෝත්පාදනය සඳහා මුල් වන ප්‍රධාන සාධකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. කුඩා කල සිටම දරුවෙකුගේ අදහස් හා චින්තන ශක්තීන් පුබුදුවාලීමට අනිවාර්යෙන් උත්සහවත් විය යුතුය. අවාසනාවකට පාසල් තුළ මෙම තත්වය දක්නට ලැබෙන්නේ නැත. මේ පිළිබඳව අවධානය යොමු කලහොත් කුතුහලය සහ නිර්මාණත්මකබව යන්න නොදැනුවත්වම දරුවන් තුළින් ඉස්මතු වනු ඇත. මෙය සිදුකල හැක්කේ දරුවන් මත අනවශ්‍ය බලපෑමක් සිදු නොකරන්නේ නම් පමණි.’
මානවයා භෞතිකව හා ආධ්‍යාත්මිකව විකාශනය කල හැකි අධ්‍යාපන රටාවක් ඇතිකිරීමට තාගෝර්තුමන් උත්සුක විය. තාගෝර්තුමන්ගේ පිළිගැනීම වුයේ දරුවකු ඇළදොළ ගංගාවන්හි පිහිනමින්, ගස් නගිමින්, මිහිමව සමඟ ගැවසෙමින් ජිවත් වීම තුළින් ශාරීරික සංවර්ධනයක් මෙන්ම මොළයට ලැබෙන ආනන්දය හේතුවෙන් ළමා වියේ ඇතිවන ස්වාභාවික ආවේගන් තෘප්තිමත් වන බවයි. එය දරුවාගේ බුද්ධි වර්ධනයට ද දායක වේ. බුද්ධි වර්ධනය යන්නෙන් ඔහු අදහස් කළේ විෂය දැනුම පමණක් නොව විවිධ මානසික ශක්තීන්, සිතුවිලි, මතකය, තර්කනය යනාදියෙහි සිදුවන සංවර්ධනයයි. අධ්‍යාපනය ඔස්සේ මානවයා හා පරිසරය අතර සම්බන්ධය ශක්තිමත් කරවීමටත්, පරිසරයට සංවේදී මනුෂ්‍යයෙක් බිහි කිරීමටත් ඔහු උත්සහ කළේ ය.
දඬුවම් මගින් දරුවන් පාලනය කිරීම පිළිබඳ තාගෝර්තුමන් තම විරෝධය පල කර සිටියේ ය. ශාන්තිනිකේතනය තුළ දරුවන්ට ලබා දුන් නිදහස පිටුපස ස්වයං පාලනය නම් සිද්ධාන්තය ක්‍රියාත්මක වී ඇත. අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ විභාග සමත් වීම පමණක් නොව උසස් මනසකින් යුත් මනුෂ්‍යයෙක් බිහි කිරීමයි. රවීන්ද්‍රනාත් තගෝර්තුමා අධ්‍යාපනය සහ පුහුණුව ඔස්සේ භාරතීය ගැමි සංස්කෘතිය පුනර්ජීවනය කිරීමට කැමැත්තෙන් පසු විය. ඒ සඳහා ඔහු ගොවිතැන වැනි ග්‍රාමීය ජීවිතය හා බැඳුණු කර්මාන්ත ආශ්‍රිත අධ්‍යාපනය කෙරෙහි මුල් තැනක් ලබා දුන්නේ ය. නිසි ප්‍රගතියක් උදෙසා මොහු ප්‍රායෝගික බව මූලික කොටගත් විෂයමාලාවක් නිර්මාණය කර අත. ආචාර්ය මුකර්ජීට අනුව ශාන්තිනිකේතනය ආරම්භයේ දී ප්‍රායෝගික ක්‍රියා මූලික කොටගත් විෂයමාලාවක් පහත සඳහන් පරිදි ක්‍රියාත්මක වී තිබුණි.
විෂයන්: මව්බස, සංස්කෘත, ඉංග්‍රීසි භාෂාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව, කලාව, තාක්ෂණය, සංගීතය
ප්‍රායෝගික ක්‍රියාකාරකම්: උද්‍යාන විද්‍යාව, කෘෂිකාර්මික ක්ෂේත්‍රය, රසායනාගාර කටයුතු
අනෙකුත් ක්‍රියාකාරකම්: සම්මන්ත්‍රණ, වාද විවාද, ක්‍රීඩා, නාට්‍ය, සංගීතය, නර්තනය
රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ඉදිරිපත් කළ ඉගෙනුම් ක්‍රමවේද
මොහු දරුවන්ට තම අත්දැකීම් ඔස්සේ ඉගැනීමට අවස්ථාව සලසා දුන්නේ ය. ඉගෙනුම් ක්‍රමවේද සම්බන්ධව රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ඉදිරිපත් කළ අදහස් මෙසේ ය.
- කිසිවිටෙකත් දරුවාට බලෙන් අධ්‍යාපනය ලබා දීම නොකල යුතුය.
- උගන්වනු ලබන සෑම දෙයක්ම ජිවිතයේ සැබෑ ක්‍රියාකාරකම් ඔස්සේ සිදු කල යුතුය.
- දරුවන්ට ඉන්ද්‍රීය සංවේදන භාවිතා කිරීමට අවස්ථාව ලබාදිය යුතුය.
- ශිෂ්‍යයා තුළ රුචිකත්වය ඇතිවන සහ ක්‍රියාශීලිව ශිෂ්‍යයා පාඩම හා සම්බන්ධ කරගත හැකි වන ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කල යුතුය.
- දරුවන්ව කටුක පාලනයෙන් දුරස් කල යුතු අතර ඔවුන්ට වැඩ කිරීමටත් සිතීමටත් නිදහස ලබා දිය යුතුය.
ඔහු පහත පරිදි ඉගෙනුම් ක්‍රමවේද කීපයක් ඉදිරිපත් කර ඇත.
- වාචික ක්‍රමවේදය : තර්ක විතර්ක, වාද විවාද, ප්‍රශ්නෝත්තර ආදී වාචික ක්‍රමෝපායන් ඔස්සේ ඉගැන්වීම සිදු කිරීම. මෙහිදී දරුවන් ක්‍රියාශීලිව රඳවා ගත යුතුය.
- ස්වඅධ්‍යයන ක්‍රමවේදය : දරුවාව ස්වඅධ්‍යනය සඳහා හුරු කිරීම, ඒ සඳහා නිසි උපදෙස් දීම හා ස්වඅධ්‍යනය කිරීමෙන් පසු දරුවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම.
- විශ්ලේෂණ ක්‍රමවේදය : මෙහිදී දරුවා ඉදිරියේ ප්‍රකාශ කරන උදාහරණ සෑමවිට ඔවුන්ගේ ජීවිත සමඟ සම්බන්ධ කරවීමත්, තීරණ ගැනීමේ දී ළමුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයත් වැදගත් වේ.
- භාවිතය : ප්‍රායෝගික විෂයන් සහ ක්‍රියාකාරකම් ආශ්‍රිතව ගුරුවරයා ඉදිරිපත් කිරීම, සිසුන් විසින් අනුකරණය කිරීම හා අභ්‍යාස කිරීම.
ගුරුවරයෙකුගේ භූමිකාව පිළිබඳ අදහස් දක්වන තාගෝර්තුමා ගුරුවරයෙකු දැනුමෙන් හා සංයමයෙන් යුතුව දරුවන් වෙනුවෙන් කැපවිය යුතු බව පවසයි. එසේම මොහු පවසා සිටියේ ශිෂ්‍යයෙකු තම ගුරුවරයා උගන්වන දෙයට වඩා ගුරුවරයාගේ අදහස් හා හැසිරීම වඩාත් ඉක්මනින් ග්‍රහණය කරගන්නා බවයි. ඒ පිළිබඳ ගුරුවරයා අවධානය යොමු කළ යුතුම වේ.
ගුරුවරයා මෙන්ම ශිෂ්‍යයාගේ භූමිකාව පිළිබඳව ද මොහු අදහස් දක්වා ඇත. තාගෝර්තුමන්ට අනුව ශිෂ්‍යයෙක් පරිසරය සමඟ ජිවත් විය යුතුය. ලෞකික හා ආධ්‍යාත්මික දැනුම ලබාගැනීමට කැමැත්තක් තිබිය යුතුය. තම උනන්දුවෙන් ගුරුවරයා කෙරෙහි මහත් ගෞරවයෙන් ඉගෙනීම සිදු කළ යුතු අතර වැරදි සහගත හා නින්දනීය හැසිරීම් වලින් දුරස් විය යුතුය.
පාසල් පසුබිම පිළබඳව අදහස් දක්වමින් මොහු පවසා සිටියේ පාසලක් පිහිටා තිබිය යුත්තේ ස්වාභාවික පරිසරයක් ආශ්‍රය කොටගෙන බවත් පාසලෙන් තම රටේ සංස්කෘතිය, සභ්‍යත්වය විදහා දැකිවිය යුතු බවත් ය. ඔහුගේ විශ්වභාරති විශ්වවිද්‍යාලය මෙම පදනම මත ඉදිකර ඇත. රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් පාසල් අධ්‍යාපනය පිළිබඳ පමණක් නොව කාන්තා අධ්‍යාපනය, ධාර්මික අධ්‍යාපනය, දේශීය අධ්‍යාපනය හා විදේශීය අධ්‍යාපනය පිළිබදව ද තම අදහස් ඉදිරිපත් කළ බව සිහි කැඳවිය යුතුමය.
රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ අධ්‍යාපන සිද්ධාන්තයේ සාරය, මානවයා සහ පරිසරය අතර ඇති ආධ්‍යාත්මික සහ ලෞකික එකමුතුව ලෙස හඳුනාගත හැකිය. එතුමාගේ අධ්‍යාපන පිළිබඳ ඉදිරිපත් කරන ලද අදහස් පෙර දා මෙන්ම වර්තමානයටත් කාලෝචිත බව පිළිගත හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ:
शैक्षिक चिंतक रवींद्रनाथ टैगोर का शिक्षा दर्शन, http://www.dspmuranchi.ac.in/pdf/Blog/t.pdf, 2021.11.25
रवींद्रनाथ का शिक्षा दर्शन, https://vbsamwad.co.in/ravindernath-tagore-education-philosophy/, 2021.11.29