කවුද මේ වැද්දන්? ඔවුන් ජීවත් වෙන්නේ කොහේ ද? මිනිස්සු කොට්ඨාසයක් නොවෙයි ද? මිනිස් ප්‍රජාවක් නම් ඇයි ‘වැද්දන්’ කියලා හඳුන්වන්නේ?
ශ්‍රී ලංකාවේ ජීවත්වන කෙනෙකු නොවේ නම්, කුඩා වියේ දරුවෙකු නම්, ‘වැද්දා’ යන පදය ඇසුණු විගසම මෙවැනි දේ පිළිබඳ ප්‍රශ්න නැඟීම ස්වාභාවිකයි. එම නිසා මේ ‘වැද්දන්’ පිළිබඳව අපි ටිකක් සොයා බලමු. නමුත් අද ලිපිය නම් මේ වැදි ජනතාව හඳුනාගැනීම පිළිබඳ නොවෙයි. ඉන් එහාට ගිය තරමක් බැරෑරුම් මාතෘකාවක්.
‘වැද්දන්’ යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ ජනතාවගෙන් සෘජු වශයෙන් පැවත එන්නන්. එනම්, අපේ රටේ ජීවත්වුණු සහ තවමත් ජීවත් වෙමින් සිටින ඉතා පැරණිම ජන කොට්ඨාසය; ආදිවාසීන්. පුරාවෘත්තවලට අනුව, මීට වසර දහස් ගණනකට පෙර, කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව විසින් මෙරට ප්‍රථම රජ බවට සැළකෙන විජයට දාව බිහිකළ ජීවහත්ත සහ දිසාලා යන දෙදෙනාගෙන් මේ වැදි පරපුර පැවත එනවා. නමුත් මේ ආදිවාසීන් ලංකාවට පමණක් විශේෂ පිරිසක් නොවෙයි. පාසලේ හය හත ශ්‍රේණියේ දී ඉගෙන ගත් සියැටල් ගැන ඔබට මතක ද? “දිය දහරේ සහ ගංඟාවල ගලා හැලෙන දීප්තිමත් ජලය ආදිවාසී මුතුන් මිත්තන්ගේ ජීව රුධිරය…..” යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වූ ෆ්‍රෑන්ක්ලින් පියර්ස්ට ලිපියක් යැවූ පුද්ගලයා? සියැටල් අයත් රතු ඉන්දියන්වරු ඇමෙරිකාවේ ආදිවාසීන් ලෙස හඳුන්වනවා. ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ඇබොරිජින් (aborigine) නම් වෙනවා. ‘International Work Group for Indigenous Affairs’ නම් ආයතනයේ වාර්තාවකට අනුව මුළු ලෝකයේ ම සමස්ත ආදිවාසී ජනගහනය මිලියන 370ක් පමණ වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඔවුන් රටවල් 90ක එකිනෙකට වෙනස් සංස්කෘතීන් 5000ක් පමණ නියෝජනය කරනවා. ඔවුන්ගෙන් බහුතරයක්වන 70%ක ප්‍රමාණයක් ජීවත් වන්නේ ආසියානු කලාපයේ.
මීළඟට අපි අපේ මාතෘකාවට පිවිසෙමු. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ වර්තමානයේ අපි දකින වැදි ජනතාව මුහුණපාන අභියෝග සහ ඒ හේතුවෙන් ඔවුන් ආශ්‍රිතව සිදුව ඇති සාමාජයීය විපර්යාසයන් පිළිබඳව. ලංකාවේ මේ වැදි ප්‍රජාව බහුලව ජීවත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගණය ප්‍රදේශයේ, දඹාන නම් ග්‍රාමයේ. මීට අමතරව අනෙකුත් ප්‍රදේශවල ද ඔවුන් විසිරී සිටිනවා. ඔවුන්ගේ එදිනෙදා ජීවිතය වෙනස් වීමට බලපාන ප්‍රබලම සාධකය ලෙස සමාජ නවීකරණය හඳුන්වන්නට පුළුවන්. ඒ යටතේ ඔවුන්ගේ භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, රැකියා, පූජාවිධි යන අංශවල පැහැදිලි වෙනස්කම් දකින්න ලැබෙනවා.
ආදිවාසීන් අනෙකුත් ජන කණ්ඩායම්වලින් වෙන්කර දැක්විය හැකි ප්‍රබලම අවිය වන්නේ ඔවුන්ගේ භාෂාවයි. එම නිසා ‘වැදි භාෂාව’ මෙරට භාවිතාවන උප භාෂාවක් ලෙස සැළකෙනවා. බොහෝවිට ඔවුන් යම් පුද්ගලයෙක් හැඳින්වීමේ දී “ඇත්තෝ” යන ප්‍රත්‍යට ත්, ස්ථානයක් හෝ යම් දෙයක් සඳහන් කිරීමට “පොජ්ජ” යන ප්‍රත්‍යට ත් තවත් වචන කොටසක් එක් කරනවා. “අම්මිලැත්තෝ (මව), දෙයියලැත්තෝ (දෙවියන්), මීඇත්තෝ (මම/අපි), ඉරපොජ්ජ (ඉර), කැලෑපොජ්ජ (කැලය), බරපොජ්ජ (බර)” යනාදිය ඊට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඊට අමතරව ක්‍රියාපද සඳහා වෙනම වචන මාලාවක් භාවිතා වුණා. නමුත් අදවන විට ඒ තත්වය බොහෝ වෙනස් වී ඇති බවක් පෙනෙනවා. සාම්ප්‍රදායික වචනවල ඉහත සඳහන් ප්‍රත්‍ය පමණක් භාවිතා කරමින්, ප්‍රධාන භාෂාවෙන් ණයට ගත් වචන එයට එක් කිරීම ඉස්මතු වී තිබෙනවා. එම නිසා සියයට සීයක් ම නොවුණ ත් ඔවුන්ගේ කතා විලාසයේ දී “ඇත්තෝ, පොජ්ජ, මංගච්චනවා” වැනි වචන බහුලව පුනරුච්චාරණය වෙනවා. නමුත් යම් විශේෂිත සංස්කෘතික රාමුවක් තුළ එහි අනන්‍යතාවය රැඳී පවතින්නේ භාෂාව මතයි. එම නිසා භාෂාව විනාශ වන්නේ කවදාද, ඒ හා සමඟම එකී සංස්කෘතියේ පරිහානිය ද ආරම්භ වෙනවා.
ඇඳුම් පැළඳුම් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, අතීත කතා ප්‍රවෘත්තිවලට අනුව මුල් යුගයේ වැදි ජනතාව ඒ සඳහා ගස්වල කොළ, අතු, සතුන්ගේ සම් භාවිතාකර තිබෙනවා. පසුකාලීනව රෙදි කඩකට සීමා වුව ත් ඔවුන්ගෙන් බහුතරය අදවන විට සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තරමට, කලිසම, සරම, කමිසය, සාය, හැට්ටය වැනි ඇඳුම්වලට හුරු වී සිටිනවා. එකළ පුරුෂයන් විසින් අඳිනු ලැබූ ‘අමුඩය’ අදවන විට සහමුලින් ම පාහේ නැති වී ගොස් තිබෙනවා.
එමෙන් ම වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් ස්වාභාවික ගල්ගුහා ආදිය වාසස්ථානය කර ගනිමින් සංක්‍රමණික ජීවිතයක් ගත කළ ත්, කාලීනව එක් නිශ්චිත ස්ථානයක තම වාසස්ථානය ඉදිකර ගනිමින් නව ජීවන රටාවකට හුරු වුණා. ස්වාභාවික පරිසරය මත යැපුණු ඔවුන්, ආහාර පාන සපයා ගැනීමේ දී පවා ගඩා ගෙඩි, කොළ වර්ග, අල, මුල්, සත්ව මාංශ, මී පැණි ආදිය පහසුවෙන් සපයා ගත්තා. නමුත් අදවන විට ඔවුනු ත් වෙළඳ ද්‍රව්‍යවලට නිරාවරණය වී ඇති ආකාරය දකින්න ලැබෙනවා. මේ ආකාරයට වැදි ජනතාව තම ආහාර පාන අවට පරිසරයෙන් ම සපයාගත් ජන කොටසක්. එකළ පැවති භාණ්ඩ හුවමාරු ක්‍රමය නිසා ඔවුන්ට භාණ්ඩවල හිඟයක් වුව ත් නො දැනුණු තරම්. නමුත් මුදල් භාවිතයේ ආගමනය ත් සමඟ ඔවුන් විවිධ රැකියාවලට යොමුවුණා. කෘෂිකර්මාන්තය, වෙළඳාම වැනි පොදුවේ දැකිය හැකි මුදල් ඉපයීමේ මාර්ගවලට අමතරව මේ වන විට ගෘහසේවා සඳහා කාන්තාවන් විදේශගත වීම ත් සුලබ කරුණක්.
මෙවැනි වාතාවරණයක් තුළ අවාසනාවකට මෙන් අදවන විට ආදිවාසීන් යනු හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩවල තත්වයට වැටී තිබෙනවා. මොවුන් දේශීය විදේශීය ආකර්ෂණය නොමඳව ලබා ගැනීමට සමත් පිරිසක්. ඔවුන් පිනවීමට කොණ්ඩය විදා ගනිමින්, රැවුල් වවා ගනිමින්, කෙටේරිය කරට දමාගෙන, පිරිමින් උඩුකය නිරුවත්ව කිරි කොරහා නැටූ පමණින් ම, ඔවුන් තුළ ස්වකීය මුතුන් මිත්තන්ගේ සහලක්ෂණ ඒ ආකාරයෙන් ම ඉතුරු වී තිබෙනවා ද යන්න සැක සහිතයි.
අනෙක් අතට ආදිවාසීන් යනු ස්වාභාවික පරිසරය සමඟ ඒ්කාත්මික වූ ජන කොට්ඨාසයක්. වර්තමානයේ ජනගහන වර්ධන වේගය, වාණිජ වගාවන්, එදිනෙදා අවශ්‍යතා බහුල වීම වැනි සාධක මත පරිසර පද්ධතීන් හෙළි කිරීම නිසා ඔවුන් හා පරිසරය අතර ඇති සබඳතාවය අසමතුලිත වෙනවා. දහනවවැනි සියවසේ සිටම මහ ජාතියේ විවිධ අඩන්තේට්ටම්වලට ගොදුරු වූ මොවුන්ට, නූතන ජනපද ව්‍යාපාර ඇරඹීමත් සමග නව ආර්ථික, සංස්කෘතික හා තාක්ෂණික ප්‍රවාහයන්ගෙන් බැට කෑමට ත් සිදුවුණා. මෙය ආදිවාසීන්ගේ පැවැත්මට හා අනන්‍යතාවයට එල්ලවන මරු පහරක්. නමුත් සමස්ත ලෝකයම ගෝලීයකරණය ත් සමඟ අත්වැල් බැඳගෙන සිටින අවස්ථාවක ආදිවාසීන්ට පමණක් එයින් මිදීමට ද හැකියාවක් නැත.