අධ්‍යාපනය සහ හිසරදය

by | මැයි 22, 2023 | සෞඛ්යය | 0 comments

Dilshani Raveesha

Dilshani Raveesha

Author

 

වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව පිලිබදව කතා කරන විට නිතරගයෙන් ඇසෙන වචනයකි, හිසරදය. මේවා එකිනෙකට එකක් සම්බන්ධ වචන ලෙස ද පෙනී යයි. ඒ තරමටම නූතන අධ්‍යාපනය ඇතැම් අවස්ථාවල දී පීඩාකාරී යැයි ඇතැමෙකුට සිතිය හැක. එම නිසා අධ්‍යාපනය සහ හිසරදය යනු එකිනෙකට ඉතා සමීප ක්‍රියාවලි දෙකකි. තරගකාරී අධ්‍යාපන මාවතේ එක් අහිතකර අවසන් ප්‍රතිඵලයක් ලෙසට හිසරදය හැදින්විය හැකිය. එහි යටගියාව සොයා යාම මෙම ලිපියෙහි අරමුණ වේ.

 

හිසරදය වනාහි ස්නායු පද්ධතියේ නිතරගයෙන් ඇතිවන ආබාධවලින් එකක් ලෙස සැලකේ. ලොව පුරා හිසරදය ඇතිවීමේ සම්භාවිතාව 47% ක් වන අතර, එයට වෛද්‍ය ප්‍රතිකාර ද බොහෝ දෙනා ලබා ගනී. එය සෑම වයස් කාණ්ඩයකටම බලපෑ හැකි පොදු සෞඛ්‍ය ගැටලුවකි. එමගින් එදිනෙදා දින චර්යාවන්හි වෙනස්කම් ඇති කිරීමෙන් පීඩාවට පත් වූ පුද්ගලයාගේ ජීවන තත්ත්වයට බලපෑම් කොට එය අඩාල කරයි.

 

හිසේ කැක්කුම ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් වර්ග කළ හැක. ද්විතියික හිසේ කැක්කුම ශරීරයේ අභ්‍යන්තර අක්‍රමිකතා හෝ වෛද්‍ය/පද්ධතිමය තත්වයන් නිසා ඇතිවේ. හිසරදය ආබාධ පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණය (International Classification of Headache Disorders -ICHD-II) සදහන් කරන පරිදි  ද්විතියික හිසරදය අභ්‍යන්තර සහ වෛද්‍ය/පද්ධතිමය හේතු ලෙස වර්ගීකරණය කරන අතර, හිසරදයට තුඩු දිය හැකි විවිධ වෛද්‍යමය හේතූන් ඉස්මතු කරයි.

 

සාමාන්‍ය  ජනතාවට සාපේක්ෂව ඉගෙනුම ලබන සිසුන්ට හිසරදය ඉහළ මට්ටමක පවතින බව බොහෝ විට වාර්තා වේ. සිසුන් අතර ඇති හිසරදය මානසික ආතතිය (stress), කාංසාව(anxiety), මානසික අවපීඩනය (depression), වේදනාව දරාගත නොහැකි වීම, නින්දේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය අවම වීම, ඩිජිටල් තිරවලට නිරාවරණය වන කාලය වැඩි වීම(digital screen exposure), ආහාර පුරුදු, මත්පැන් පානය සහ දුම්පානය, අධ්‍යයන සාධක(academic factors), වෙනත් රෝග පැවතීම, මත්ද්‍රව්‍ය භාවිතය(substance abuse) වැනි සාධක කිහිපයක් සමඟ සම්බන්ධ වී ඇත.

 

හිසරදයේ බලපෑම් ලෙසට සිසුන්ට සැලකිය යුතු දුර්වල වූ සංජානන ක්‍රියාකාරිත්වය ( impaired cognitive function ), ඉගෙනීමේ ආබාධ (learning disabilities), දුර්වල අධ්‍යයන කාර්ය සාධනය (poor academic performance), මත්ද්‍රව්‍ය අනිසි භාවිතය( substance abuse) (උදා: සිගරට්, දුම්කොළ, දුම්පානය සහ මධ්‍යසාර) වැනි අහිතකර ප්‍රතිවිපාක අත්විඳීමට ඉඩ ඇත.

 

අධ්‍යාපනය හදාරන සිසුන්ට හිසරදය ඇති වීමට බලපාන විවිධ හේතූන් කීපයක් සලකා බලමු.

 

වේදනා නාශක භාවිතය සහ හිසරදය 

වේදනා නාශක සහ ඉරුවාරදය(migraine) වෙනුවෙන් භාවිතා කරන ඖෂධ වැනි බෙහෙත් නිතිපතා හෝ නිතර භාවිතා කිරීම මගින් හිසරදය ඇතිවන වාර ගණන වැඩි කළ හැකි අතර, එපිසෝඩික් වැනි ඉදහිට ඇතිවන හිසරදයේ සිට නිදන්ගත හිසරදයට හෝ ඖෂධ අධික ලෙස භාවිත කරන හිසරදය (medications overuse headache -MOH) දක්වා පුළුල් පරාසයක් දක්වා පැතිර යා හැකිය. හිසේ කැක්කුම අත්විඳින බොහෝ පුද්ගලයන් බොහෝ විට වේදනාව සහනය කර ගැනීම  සඳහා ඕවර්-ද-කවුන්ටර (OTC) ඖෂධ භාවිතා කරයි. කෙසේ වෙතත්, මෙම OTC ඖෂධ අධික ලෙස භාවිතා කිරීම නිසා ඖෂධ අධික ලෙස භාවිතා කිරීම හිසරදය (MOH) වලට හේතු විය හැක. 

 

උදෑසන ආහාරය මග හැරීම සහ හිසරදය 

උදෑසන ආහාරය මඟ හැරියහොත් ස්නායු පද්ධතියට අත්‍යවශ්‍ය  පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක කිහිපයක් අහිමි වේ (micro nutrients). පෙර අධ්‍යයනයන් පෙන්වා දී ඇති පරිදි, හිසරදය ඇතිවීමේදී කුසගින්න ප්‍රධාන බලපෑමක් ඇති කරයි. පෙර අධ්‍යයනයන් වාර්තා කර ඇත්තේ උදෑසන ආහාරය මඟ හැරීම නව යොවුන් වියේ පසුවන්නන් අතර හිසරදය ඇතිවීම හා සම්බන්ධ විය හැකි බවයි. ඒ සමගාමීව ම කැෆේන් අඩංගු තේ, කෝපී, කැෆේන් අඩංගු බීම නිතරම පරිභෝජනය ද හිසරදයට ධනාත්මකව සම්බන්ධ වී ඇත.

 

අධික ලෙස ඩිජිටල් තිරවලට නිරාවරණය වීම හා හිසරදය  

ඩිජිටල් මාධ්‍ය සහ විවිධ ස්වරූපවලින් තිර නිරාවරණය (digital screen exposure) වර්තමානයේ වැඩිහිටියන්ගේ පමණක් නොව දරුවන්ගේ ජීවිතවලද අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත. තිර කාලය වැඩිහිටියන්ගේ මෙන්ම ළමුන්ගේද හිසරදය පිළිබඳ වාර්තාවලට වැදගත් ආකාරයෙන් සම්බන්ධ වී ඇත.නූතන යුගයේ ඩිජිටල් මාධ්‍ය උපාංග භාවිතය වැඩි වීමත් සමඟ මිනිසුන්ට හිසරදය, කොන්දේ කැක්කුම සහ අත්, උරහිස් සහ බෙල්ලේ වේදනාව වැනි විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වීමේ බොහෝ දුරට ඉඩකඩක් ඇත.

 

ලෙඩරෝග සහ හිසරදය 

හිසරදය සහ ඇදුම(wheezing), පීනස(hay fever)  සහ නිදන්ගත බ්රොන්කයිටිස්( bronchitis) අතර සම්බන්ධතාවයක් ද පවතී දැයි වෛද්‍යවරුන් සැක පහල කරයි. එය හේතුවාදී සම්බන්ධතාවයක් දැයි නොදන්නා නමුත්, නිතර නිතර හිසරදය ඇති රෝගීන් අතර මෙම ලෙඩ රෝග හා සහසම්බන්ධතාවයක් ඇතැයි සලකා බැලීමේ වැදගත්කම ප්‍රතිඵලදායක වේ. දන්ත හෝ මුඛ ආබාධ නිසා ඇතිවන වේදනාව ද ඇතැම් අවස්ථාවලදී මුහුණේ වේදනාවක් හෝ හිසරදයක් ලෙස ප්‍රකාශ විය හැක.

 

ශාරීරික අක්‍රීයතාවය සහ හිසරදය 

විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ශාරීරික ක්‍රියාශීලිත්වය migraine සහ අනෙකුත් රෝග ඇතිවීම යන සිදුවීම් සමඟ සම්බන්ධ වී ඇති බවයි. අනෙක් අතට, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීම migraine සහ ආශ්‍රිත ආබාධ සංඛ්‍යාතය අඩු කරන බව සොයාගෙන ඇත.

 

නින්දේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය සහ හිසරදය 

ප්‍රමාණවත් තරම් නොවන සහ අඩු නින්දේ ගුණාත්මක භාවය ද විශ්වවිද්‍යාල සිසුන් අතර බහුලව දක්නට ලැබේ. නින්ද නොයාම, නින්දේ දී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, නිදි ඖෂධ භාවිතය, පාරිසරික සාධක සහ නින්දට යන විට ජංගම උපාංග භාවිතය, මානසික ආතතිය, මානසික අවපීඩනය, කාංසාව, යනාදිය නිසා නින්ද නොයෑම ප්‍රතිඵලයක් විය හැක. දුර්වල නින්ද නිසා නැවත නැවතත් හිසරදය උත්සන්න විය හැකි බව විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දී ඇත.

 

සිගරට් භාවිතය සහ හිසරදය 

සිගරට් බීම සහ එහි දුම ආශ්වාස කිරීම migraine කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව බොහෝ අධ්‍යයනයන් සිදු කර ඇත. සිසුන් අතර සිදු කරන ලද අධ්‍යයනයක දී, දුම් පානය කරන පිරිසට ඇතිවන හිසරදය ඇතිවන ප්‍රමාණය දුම් නොබොන කණ්ඩායමට  වැඩි බව තහවුරු වී ඇත.නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය, ගංජා,කැෆේන්, අබිං සහ කොකේන් ආදිය නිසා හිසරදය ඇතිවීම ද වත්මන් සමාජයේ දක්නට ලැබේ. 

 

මානසික ආතතිය සහ හිසරදය 

මානසික ආතතිය( stress), මානසික අවපීඩනය (depression )සහ කාංසාව (anxiety)හිසරදය ඇතිවීම සඳහා හේතු විය හැකි සාධක බව පෙර කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දී ඇත. සිසුන්ට විෂය නිර්දේශය ඉගෙනීමේ සහ අවබෝධ කර ගැනීමේ දුෂ්කරතා, වැඩ අධික වීම එය මනාව තුලනය කර ගැනීමට නොහැකි වීම සහ විභාග නිසා ඇතිවන ආතතිය ඇතුළත් වේ. ඊට අමතරව මූල්‍යමය ප්‍රශ්න සහ දෙමාපියන්ගේ අපේක්ෂාවන් අධික වීම ද ඇතුළත් වේ.  ඊට අමතරව සිසුන් අතර වාර්තා වන මානසික ආතතිය ඇති කරන වඩාත් පොදු අධ්‍යයන අභියෝග සහ දුෂ්කරතා ලෙස පන්තිවල වැඩ ප්‍රමාණය වැඩි වීම සහ වැඩි පන්ති ප්‍රමාණයකට සහභාගි වීම, නිවාඩුව/නිදහස් කාලය හෝ විවේකය නොමැතිකම හෝ අඩු වීම සහ බලාපොරොත්තු වූවාට වඩා ශ්‍රේණි/ලකුණු අඩුවීම වේ.

 

ආශ්‍රිත මූලාශ්‍ර

  1. Alkarrash, M.S., Shashaa, M.N., Kitaz, M.N., Rhayim, R., Alhasan, M.M., Alassadi, M., Aldakhil, A., Alkhamis, M., Ajam, M., Douba, M., Banjah, B., Ismail, A., Zazo, A., Zazo, R., Abdulwahab, M., Alkhamis, A., Arab, A., Alameen, M.H. and Farfouti, M.T. (2021). Migraine and tension-type headache among undergraduate medical, dental and pharmaceutical students of University of Aleppo: a cross-sectional study. BMJ Neurology Open, [online] 3(2), p.e000211. doi:10.1136/bmjno-2021-000211.
  2. Alyoubi, R. A.,   Kobeisy, S. A.,   Souror, H. N.,   Alkhaldi, F. A.,   Aldajam, M. A.,   Allebdi, K. S.,   Alghamdi, O. A.,   Alzahrani, K. T.,   & Basheikh, M. A. (2020). Active Screen Time Habits and Headache Features among Adolescents and  Young Adults in Saudi Arabia . International Journal of Pharmaceutical Research & Allied Sciences.
  3. Fathima, . N.,   Babu, J.,   Bensen, J.,   Thomas, J.,   & Raju, L. (2019). Questionnaire based study on prevalence, risk factors and disability associated with primary headache disorders. World Journal of Pharmaceutical Research, 8(11, 1447-1460). 
  4. International Headache Society (2018). Headache Classification Committee of the International Headache Society (IHS) The International Classification of Headache Disorders, 3rd edition. Cephalalgia, 38(1), pp.1–211..
  5. ‌Mansouri, M.,   Sharifi, F.,   Shokri, A.,   Varmaghani, M.,   Yaghubi, H.,   Moghadas-Tabrizi, Y.,   & Sadeghi, O. (2021). Breakfast consumption is inversely associated with primary headaches in university students: The MEPHASOUS study. Complementary Therapies In Medicine, 57, 102663. 
  6. Sullivan, M.J.L.,   Bishop, S.R. and Pivik, J. (1995). The Pain Catastrophizing Scale: Development and validation. Psychological Assessment, 7(4), pp.524–532.. 

 

SEO SCORE %

9 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.84

Visitors liked the post