-ළෝහිත-
“දැන් ඉතින් මට හිරේ ගියෑකි”
ඔහු තමාටම මුමුණා සිනාසුනේය. ඈත හිද බලනා එහෙකුට නම් ඌව පෙනෙන්නේ මල හොල්මනක් මෙනි. මාස ගනනක් පුරාවට නොකැපූ හිසකේ මුහුණ පුරා වැටී තිබුනා පමනක් නොව අහල ගම් හතකට පවා පැතිරෙන තරමේ ගන්දස්තාරයකට හිමිකම් කී ඔහු පාරේ අයිනක වූ බෝක්කුවක් මත හිදගෙන ඈතින් පෙනෙනා පන්සලේ චෛත්‍යරාජයා දෙස බලාගත් වනම බලා උන්නේය.
කල කම් කොහෙන් හෝ පල දේ. ඒවා කොයි දවසක හෝ කොයි වේලාවක හෝ ගෙවා අවසන් කල යුතු ය. ඒ බව හෙතෙම හොදින්ම දනී. පංසල දිහාවෙන් වෙනදා හවසට ඇහෙන ඝන්ඨාර නාදය අද නැත. මහා මූසල නිහැඩියාවක් ගම වෙලාගත්තාක් මෙනි. එක්වරම ඔහුගේ දෑස් ගැටුනේ හිස් පොලිතින් කවරයකි. ඔහු එවර එදෙස දෑස් නොසෙල්වා බලා උන්නේය. මුහුණේ තිබූ දුක, වේදනාව අමතකව ගොස් සිනහවක් පතිත විය. ඒ හිස් බනිස් කවරයකි. දින කිහිපයකට වරක් සියතට හිමිවන එහි ක්‍රීම් තැවරූ විසල් බනිස් පලු දෙක ඔහුට සිහිවිය. හැට පස් වියැති නාකි දෑස දීප්තිමත්ව බබලන්නට විය
“ඉදා කාපන්”
වසුන්දරා දින කිහිපයකට වරක් හංදියේ කඩයට ගොස් එන හැම විටකම පාහේ මෙම ක්‍රීම් බනිස් පැකට් දෙකක් ගෙන එන්නීය. එකක් ඔහුට ය. අනික සදයාට ය.
“උඹ ළඟ නම් ඇම්මැහි ගදක් නෙමේ බන් එන්නෙ. මම යනවා. හිර කරගන්නැතුව කාපන්”.
වසුන්දරා තනිවම සිනාසෙමින් සිය කුඩා නිවස දෙසට හැරුනාය. ඈත තියාම නිවසේ පොල් අතු වහලය දුටු ඇයට හිතුනේ හැකි විගසින් වහලයට අලුත් පොල් අතු කිහිපයක් නොවැටුනහොත් එය දිරාපත්ව කඩා වැටෙන්නට ආසන්න වනු නොඅනුමාන බවයි
“කවදා ඕව කරගන්න වෙයිද මන්දා”
වසුන්දරා ගෙට ගොඩ වී හති ඇරියාය. අමාරුවෙන් ලියා ගත් උසස් පෙල විභාගෙට මොනවා වේදැයි දන්නේ දෙවියොම පමනි. පාස් වුනා යැයි කියා උපාධි ගන්නට ඉගෙනගන්නට තරම් සැනසිල්ලක් වසුන්දරාට ඇත්තේද නැත. සදයා එන්නට පෙර මොනවා හෝ දවල්ට උයා තැබිය යුතු බව පමනක් සිතූ ඇය උන් තැනින් නැගිටගත්තාය.
“අදත් පොඩි එකා ගුටි කෑවද දන්නෙත් නෑ”
එහෙම හිතනා විටත් වසුන්දරාගේ පපුවේ ගිනි පත්තු වේ. ඊයේද බාටා දාගෙන ආවැයි කියා ලොකු ඉස්කෝලේ මහත්තයා කොල්ලාට ටොක්කක් ඇන තිබුනි. කෝපය පරයා නැගි අසරණ කම මොකටත් වඩා ලොකු බැවින් ඉවසා කටපියන් උන්නා මිසක වසුන්දරා එසේ පහසුවෙන් කට පියන් ඉන්නා එකියක නොවන වග ගමම දන්නා කරුණකි.
“අයෙත් මොනවා හරි කීවොත් එහෙම මම ඔය ඉස්කෝල කාරයාගෙ ඉස්සරහ දත් ඇන්දම ගලවලා තමා පස්ස බලන්නෙ. ”
තනිවම කුටු කුටු ගාමින් වසුන්දරා හාල් ඩිංගක් හෝදා ලිප තැබුවාය. දුප්පත් වූවා කියා ඔය හැටි උඩ පැන පැන ටොකු අනින්නට ඉඩ දෙන්නට වසුන්දරා සූදානම් නැත . ටොකු අනින්නටම දගලන එහෙව් අතකට ඇති රුජාවට පොඩි එකාගේ ඔලුව පලි නැත. වසුන්දරාට හොදටෝම තරහත් ඒකමය.
සදයා නොහොත් සදරුවන් යනු වසුන්දරාගේ දරුවා නොවේ. ඒකීගේ එකම මලයා ය. එක කුස උපන් එක ලේ ඇති සහෝදරයාය. නමුත් ඒකිට දැන් ඒකි උගේ අක්කා බැව්ද අමතකය. ඒකිට පමනක් නොව ඉදහිට අක්කාට අම්මා යැයි අමතන පාලොස් වියැති ඇටකෝටු සදයාටද එය විටෙක අමතක වේ. වසුන්දරාට බොහෝ විට අක්කම්මා යැයි ඌ අමතන්නේද එබැවිනි.
“වසුන්දරා නංගියේ….”
පිටතින් ඇසුන හඩ වසුන්දරා නොදන්නවා නොවේ. යටි හිතෙන් එම හඩම නිතර දෙවේලේ බලාපොරොත්තු වුවද වෑයමෙන් සිය මුහුණට නුරුස්සනා පෙනුමක් එක් කරගත් වසුන්දරා ගෙයි පිල වෙතට ආවාය.
“සාලිය අයියා මොකද මෙහෙ?”
වසුන්දරා ඉවත බලාගෙන මිමිනුවද සාලිය එය වගකට නොගෙන තම අත වූ එලවලු මල්ල කුඩා බංකුව මත තැබීය.
“මල්ලි ආවෙ නැද්ද තාම?”
වසුන්දරා ඇස් කොනින් සාලිය දෙස බලා නැවත ඉවත බලාගත්තේය.
“දැන් එයි . ඉස්කෝල ඇරෙන්ඩ වෙලා හරි දැන් කොහොමත්”
සාලිය දෙතුන් විඩක්ම කල්පනා කර මුව විවර කලේය. සමහරක් දේවල් උවමනාවට වැඩියෙන් හිතේ හිරකරගෙන ඉන්නා එක කොහොමටත් හිතට බර වැඩිය. දවස් ගණනක් මාස ගණනක් අවුරුදු ගණනක් කියන්නට උන් එව්වා ඒ මොහොතේ දිව අග්ගිස්සට ගුලි කරගත් සාලිය සිය දෙගිඩියාවට පයින් ගසා වසුන්දරා ළගට ගොස් සිටගත්තේය.
“මට වසුන්දරා නංගිත් එක්ක ඩිංගක් කතා කරන්ඩෝන”
වසුන්දරාගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙන්නට විය. සාලිය පේනා මානෙක ඉන්න හැම වේලාවකදීම අස්ප වේගෙකින් ගැහෙන පපුවට තරවටු කරන්නට තරම් හයියක් වසුන්දරාට තිබ්බේ නැත. ඒ සැර කටට ඒකීගේම පපුව කොහොමත් මෙල්ල නැත.
“සමහරක් දේවල් කතා කරන්ඩ මේ හරි කාලෙ නෙමෙයි අයියෙ. බත ලිපේ. ඒක රොස් වෙයි මෙතන කියව කියව ඉන්ඩ ගිහින්. දැන් අයියා යන්ඩ”
සාලිය යන්නට හැරුනේ කැමැත්තෙන් නොවේ. වසුන්දරා තමාට කනට ගැහුවානම් මීට වඩා හොද බව සාලියට හිතුනි. දඩස් ගා දොර වසාගත් වසුන්දරා දොරට පිටදී හීල්ලුවාය. සාලිය වුවත් පිට මිනිහෙකි. කැරකි කැරකී එන්නේ මොනාටදැයි වසුන්දරා නොදන්නවා ද නොවේ. නමුත් ඒවා ගැන හිතන්නට තරම් නිස්කාංසුවක් වසුන්දරාගේ හිතේ නැත. කොයි දේටත්, කොයි කාටත් කලින් පපුවේ ඉස්සරහටම එන්නේ සදයා ය.
“ඌ වෙනුවෙන් උහුලන් ඉන්ඩම වෙනවා. කවුද දන්නෙ කොච්චර ඇගෑලුම් කමක් පෙන්නන් හිටියත් පස්සෙ කාලෙක මගෙ පොඩි එකාට වෙනස් කමක් කරොත්. කොයි පිරිමිත් එකයි. හොදයි කියන්ඩ එකෙක් නෑ”
වසුන්දරා තනිවම තොල මතුරමින් වලදක් හෝදන්නට ගත්තාය. ගේ දෙදරවාගනිමින් සදයා ගෙට කඩා පැන්නේ ඒ මොහොතේ ය.
“අක්කම්මේ…”
ඒ කෑ ගැසූ වේගෙට වසුන්දරා උඩ විසි විය. සදයාගෙන් ඉදහිට පනිනා එවැනි නොසන්ඩාල වැඩ වලට වසුන්දරාට මල යක්සයා ආරූඪ වන්නට වැඩි වෙලා යන්නේ නැත. තිගැස්සී අතෙන් අත හැරුන පොල්කටු හැන්ද උරුක් කරගත් වසුන්දරා හැදි මිටෙන් ම ටාං ගා ටොක්කක් ඇන්නාය.
“බෙරිහන් දෙන්නෙ මොකද අඩේ? මම උඩ විසි වුනා”
හිස අතගාගනිමින්ම සදයා කුස්සියේ වූ හිරමණේ උඩ ඉදගත්තේ පාසල් නිල ඇදුම පිටින්ම ය.
“ඔය, නැගිටහන් ඔතනින්. මේ කුස්සියෙ තියෙන දැලි කුණු නාවර සේරම උලා ගනින් ඕකෙ. මම ඉන්නවනෙ කොන්ද කඩන් හෝදන්ඩ ඕවා”
සදයා වසුන්දරාට විරිත්තා ගාමින් උන් පොල් බෑවෙන් උදුරා දතින් පොල් කැබැල්ලක් කඩා ගත්තේය.
“උඹට… දෙනව දෙකක් මම… අහකට පලයන් වද නොදී. ”
වසුන්දරා බොරු තරහකින් බෙරිහන් දෙන විට සදයා වසුන්දරාගේ කම්මුලක් හපා දිව්වේය. වසුන්දරාට හිනාය. සදයා වැඩි කතාවක් නැති දගකාර එකෙකි. ඒත් ඌ වසුන්දරාට පැලෙන්නට ආදරේ බව වසුන්දරා පමනක් නොව ගමේ උන්ද හොද හැටි දනී. පරිප්පුවක් ලිප තබා හාල්මැස්සන් දෙතුන් දෙනෙක් බැද ගත් වසුන්දරා සදයා හොයා යන විට ඌ පිලට වී බර කල්පනාවකය.
“මොකද උඹ නිකන් ගෑනි මැරිච්ච මිනිහා වගෙ”
වසුන්දරා අසනා විට සදයා එක්වරම තිගැස්සී යනු ඈ හොදින්ම දුටුවාය. ඒ හා ඉක්මනටම ඌගේ අත වසුන්දරාට හොදින්ම පෙනෙනා වම් කම්මුල මත නතර වනු දුටු විගසම වසුන්දරා වහා පැන සදයාගේ අත ඉවත් කරාය. කුස්සියේ කලුවර අස්සේ නොපෙනුන නමුත් ඒ මොහොතේ පැහැදිලිවම පෙනෙන රතු පාටට ඇගිලි පහම හිට තිබූ සදයාගේ කම්මුල දැක වසුන්දරාගේ ඇග කෝපයෙන් වෙව්ලන්නට වන. ඒ හා සමගාමීව කදුලු පිරීගෙන එන ඇස් රත් පැහැ වී ඉරි තලන විට සදයාට දැනුනේ මොකක්දෝ කලබලයක ඉවකි.
“මොකාද උඹට ගැහුවෙ ආ? කියපන්”
වසුන්දරා දෙතුන් විඩක්ම ඇහුවද සදයා උත්තර දුන්නේ නැත. ඒ වෙනුවට බිම බලාගත්තා පමනි. ඉහ නැගගත් කෝපයෙන්ම පිට මැද්දට දුන් පහරෙන් සදයා කට ඇරියේය. සිදු වූ දෙය දැන වසුන්දරාගේ ඇගේ මාලු නටන්නට විය.
“ඔය තට්ටයගෙ ඔලුව මම පලනව අද”
වසුන්දරා චීත්තයද හිරකරගෙන අදිමින් පාරට බැස්සාය.
“අක්කම්මෙ… ඔය…ඔහොම ඉන්ඩ…. අක්…”
වසුන්දරා හැරී ගිනි පිටවෙන දෑසින් සදයා දෙස බැලුවාය.
“තෝ පල ගෙදර”
සදයාව එලවාගත් වසුන්දරා හැටට හැටේ අඩි තබා යන විට ළග ගෙදරක උන් අමරවතී ජනේලෙන් ඔලුව ඔබා බලා මෙසේ මුමුණාගත්තාය.
“ආ ඔය යන්නෙ කොටි දෙන වගෙ. අද මොකාගෙ බෙල්ල මිරිකයිද දන්නෑ”
තබනා අඩියක් ගානේ සදයා කිව් කතාව වසුන්දරාගේ කන් අග්ගිස්සේ මොර දෙයි. කෝපයෙන් වෙව්ලන ඇගේ දෙතොලත් , කලබල ගමනත් මග තොට ගිය බොහොමයක් උන්ගේ ඇස් ඇගේ පැත්තට ඉබේම හරවාගත්තේය.
“පියදාස මහත්තයා ….”
(දෙවන අර්ධයෙන් හමුවෙමු)