තිරසාර සංවර්ධනයක් උදෙසා විකල්ප ඉන්ධන.

by | ජූලි 15, 2022 | සංවර්ධනය | 0 comments

Dilshani Raveesha

Dilshani Raveesha

Author

කාර්මික විප්ලවයත් සමග දියුණවේ හිණිපෙත්ත කරා යන වර්තමාන ලෝකයේ ආර්ථික සංවර්ධනයේ කොදුඇට පේළිය වන්නේ බලශක්තියයි. ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා වර්ධනය වන ජනගහනය නිසා බලශක්තිය හා ඒ ආශ්‍රිත මූලයන් මත රදා පවතින ප්‍රවාහන පහසුකම්, කෘෂිකාර්මික කටයුතු, ගෘහස්ථ කටයුතු හා අනිකුත් එදිනෙදා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන බලශක්තිය වෙනුවෙන් ද ඉතා විශාල ඉල්ලුමක් ඇති වෙමින් පවතී. එම නිසා තිරසාර සංවර්ධනයක් උදෙසා විකල්ප ඉන්ධන භාවිතය කෙරෙහි යොමු වීම අත්‍යාවශ්‍ය පියවරක් වේ.

නමුත් කණගාටුවට කරුණ නම්, වත්මන් ලෝකයේ බලශක්ති ඉල්ලුමට සරිලන ආකාරයෙන් සැපයීමට තරම් සුදුසු බලශක්ති ප්‍රමාණයක් දැනට ලොව නොමැති වීමයි. එබැවින් එම අඩුව පිරවීම සදහා ලෝකය විකල්ප ඉන්ධන  ප්‍රභවයන් කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත.

මූලික බලශක්ති ප්‍රභවයන්…

දැනට ලොව මූලිකව ම පොසිල ඉන්ධන බලශක්ති ප්‍රභවයන් ත්‍රිත්වයක් පවතී; පෙට්‍රෝලියම්, ගල් අගුරු හා ස්වභාවික වායු. නමුත් අද වන විට මෙම බලශක්ති ප්‍රභවයන් අවම ප්‍රමාණයක පවතී. හේතුව නම්, සීඝ්‍රයෙන් වැඩිවන ජනගහන මට්ටම හා ඒ ඉල්ලුම සැපයීමට අවශ්‍ය කරන පොසිල ඉන්ධන මට්ටම සීමිත වීමයි. 

පොසිල ඉන්ධනවල බලපෑම්…

පොසිල ඉන්ධනවල දහනය නිසා වායු ගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන අතර, එය හරිතාගාර වායු ඉහළ යෑමට එක් හේතුවකි. එමගින් හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වීම නිසා ගෝලීය උෂ්ණත්වය ද වැඩි වීමට ලක්වේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා බෙහෙවින් අහිතකර බලපෑම් සෑම පැතිකඩකින් ම අසන්නට දකින්නට සිදු වේ.

ඒ අතර ග්ලැසියර් දියවීම හා මුහුදු ජල මට්ටම ඉහළ යාම වැනි දේශීය හා ගෝලිය දේශගුණික විපර්යාස සිදු වීම, විවිධ වසංගත, ලෙඩ රෝග පැතිර යාම වැනි සෞඛ්‍යයමය අහිතකර බලපෑම්, බව භෝග විනාශ වීම හා ආහාර හිගය වැනි කෘෂිකාර්මික කටයුතු අඩාල වීම් හා ස්වාභාවික උපද්‍රව මගින් භෞතික සම්පත් විනාශ වීම නිසා ආර්ථික හානි වැනි ඉතා පුළුල් පරාසයක මෙහි හානිකර බලපෑම් විහිද යයි.

දිනෙන් දින වැඩි වන ජනගහන මට්ටම හා එම ඉල්ලුම සැපයීමට තරම් අවශ්‍ය පොසිල ඉන්ධන ප්‍රරමාණවත් නොවීම මෙන්ම වත්මන් පොසිල ඉන්ධන නිසා හටගත් අහිතකර බලපෑම් වැලැක්වීම යන විවිධ හේතු කාරණා කීපයක් මත පදනම් ව අද වන විට විකල්ප ඉන්ධන යන මාතෘකාව කෙරෙහි බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමු වී ඇත.

පොසිල ඉන්ධනවල වත්මන් තත්ත්වය…

ලොව පුරා සම්පූර්ණ විදුලිබල උත්පාදනයෙන් ආසන්න වශයෙන් 41%ක් පමණ ජනනය කරනු ලබන්නේ ගල් අගුරු යොදා ගනිමින් මෙහෙයවන බලාගාර ආශ්‍රිතව වේ. කාර්මික විප්ලවය ආරම්භ වූ කාලයේ පටන් ම ගල් අගුරු යනු විශේෂ කාර්‍ය භාරයක් ඉටු කල පොසිල ඉන්ධනයකි. ගල් අගුරු ප්‍රධාන වශයෙන් මූලික බලශක්ති ප්‍රභවයක් ලෙසත්, වානේ නිෂ්පාදන කර්මාන්තයටත්, සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තයටත් භාවිතා කරයි.

ලොව සම්පූර්ණ ගල් අගුරු භාවිතයෙන් 66%ක ප්‍රමාණයක් භාවිතා කරන්නේ ආසියාතික රටවල් වේ.ගල් අගුරු නිපදවීම අතින් ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානය ද, ඉන්දියාව සිව්වැනි ස්ථානය ද අත්කරගෙන සිටී.

ස්වාභාවික වායු ද ලොව විදුලිබල උත්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන අතර, එය මුලු නිෂ්පාදන ප්‍රතිශතයෙන් 22%කි. ගල් අගුරු වලින් පසුව දෙවැනියට විදුලිබල උත්පාදනයට දායකත්වය සපයන්නේ ද ස්වාභාවික වායු වේ.

ස්වාභාවික වායු ද ප්‍රවාහන කටයුතු, ගෘහස්ථ කටයුතු, කෘෂිකාර්මික කටයුතු ද, සෙරමික්, සිමෙන්ති හා වීදුරු නිෂ්පාදනයටත්, පොහොර, ප්ලාස්ටික් හා විවිධ වූ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයටත් බහුල ව යොදා ගනී.

ලොව මුළු ස්වාභාවික වායු සංචිතවලින් 80%ක් ම ව්‍යාප්ත වී ඇත්තේ ඇමරිකාව, රුසියාව, ඉරානය, කටාර් ලෙස මූලික නිෂ්පාදකයින් ඇතුළු ව රටවල් 10ක් ආශ්‍රිතව වේ. ස්වාභාවික වායු 25%ක් ම ව්‍යාප්ත වී ඇත්තේ ඇමරිකාව හා රුසියාව ආශ්‍රිතව වේ.

පෙට්‍රෝලියම් තෙල් ද ලොව සම්පූර්ණ ශක්ති උත්පාදනයෙන් 33%කට අයිතිවාසිකම් කියන අතර, එය ලොව මූලික බලශක්ති ප්‍රභවය ලෙස සැලකේ. තෙල් ආනයනයේ මූලික ස්ථානය ඇමරිකාව ද, දෙවනුව චීනය ද තෙවනුව ඉන්දියාව ද අත් කර ගනී.

ආසන්න වශයෙන් 63%ක් පමණ ප්‍රමාණයක තෙල් ප්‍රවාහන පහසුකම් සදහා යොදා ගනී.

විකල්ප ඉන්ධනවල ආරම්භය… 

බලශක්ති ප්‍රභවයන්වල මූලික වශයෙන් කොටස් දෙකකි; පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහ පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් ලෙස වේ. 

මෙතෙක් කල් මූලික වශයෙන් ලොව බලශක්ති ප්‍රභවයන් ලෙස භාවිතා කල ගල් අගුරු, ස්වාභාවික වායු සහ න්‍යෂ්ටික බලශක්තිය ආදිය පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් ලෙසට සැලකේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස ජීව වායු, ජීව ඉන්ධන, සූර්ය ශක්තිය, ජල හා සුලං ශක්තිය හා උදම් රල ආදී නැවත නැවත භාවිතා කල හැකි සහ භාවිතයෙන් පසුව නැවත ප්‍රයෝජනයට ගත හැකි ලෙසට නැවත ජනනය වන ශක්තීන් සැලකිය හැකිය.

මෙහි දී, මූලික පොසිල ඉන්ධනවලට අමතරව භාවිතා කල හැකි අනිකුත් බලශක්ති ප්‍රභවයන් විකල්ප ඉන්ධන ලෙසට හැදින්විය හැක. ඒ අනුව ජීව වායුව, ජීව ඩීසල්, ජීව එතනෝල්, හයිඩ්‍රජන් වායුව ආදිය විකල්ප ඉන්ධන වේ.

ජෛව ස්කන්ධ භාවිතයෙන්  නිපදවන ඉන්ධන ජෛව ඉන්ධන ලෙස හැඳින්වේ.  ජෛව ඩීසල්, ජෛව එතනෝල් හා ජෛව වායු ආදී ලෙසට විවිධ ආකාරයේ වූ ජෛව ඉන්ධන ප්‍රභවයන් පවතී . මේ ජෛව ඉන්ධන  දියර හෝ වායුමය ජෛව ඉන්ධන ලෙස නිපදවනු ලබන අතර, එම ඉන්ධන ප්‍රවාහන කටයුතු , බලශක්ති නිෂ්පාදනය සහ වාණිජ අංශවල මෙන්ම වෙනත් අංශවල විවිධ කටයුතු සදහා ද සාම්ප්‍රදායික ඉන්ධන වලට අමතරව භාවිතා වේ.

ජෛව ඉන්ධන තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.මක්නිසා ද යත්, ඒවා නිපදවීම සදහා උක්, බව භෝග අපද්‍රව්‍ය හා වෙනත් දිරාපත්වන අපද්‍රව්‍ය ආදි පුනර්ජනනීය ජෛව ස්කන්ධ සම්පත් භාවිතා කල හැකි වීමයි. ජෛව ඉන්ධන දිනෙන් දින වැඩිවන අවශ්‍යතාවය සදහා කදිම විකල්පයකි.

ජෛව ඉන්ධන නිපදවීමේ දී භාවිතා කරන අමුද්‍රව්‍ය මත පදනම් වී ජෛව ඉන්ධන ද වර්ගීකරණය කර ඇත.එනම් පලමු පරම්පරාව හා දෙවැනි පරම්පරාව ලෙසයි.

පළමු පරම්පරාවේ ජෛව ඉන්ධන ප්‍රධාන වශයෙන් ධාන්‍ය වර්ග (තිරිඟු, බඩ ඉරිඟු) උක්, එළවළු තෙල් වැනි ආහාර බෝග සහ සත්ව මළ යොදා ගනිමින් නිපදවනු ලබන  අතර, බයෝ ඩීසල් සහ ජෛව එතනෝල් පළමු  පරම්පරාවේ ජෛව ඉන්ධන ලෙසට සැලකේ.

දෙවන පරම්පරාවේ ජෛව ඉන්ධන කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා සහල් පොතු, තිරිඟු පිදුරු වැනි කෘෂි අපද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලැබේ. මේවා ප්‍රධාන වශයෙන්  සෙලියුලෝස්,  හෙමි-සෙලියුලෝස් සහ ලිග්නීන් අඩංගු දැවමය ජෛව ස්කන්ධයන් වේ.

ජෛව ඉන්ධන නිෂ්පාදනයේදී මෙම ද්‍රව්‍ය භාවිතා කිරීමට යොමු වීම, එමගින් අපද්‍රව්‍ය  කළමනාකරණයට යොමු වීම සහ එමගින් තිරසාර සංවර්ධනයට යොමු කිරීම සිදු වේ. සමහර සීමාවන් නිසා පළමු පරම්පරාවේ ජෛව ඉන්ධන භාවිතා කල නොහැකි අතර, ඒ වෙනුවෙන් දෙවන පරම්පරාවේ ජෛව ඉන්ධන භාවිතය පෙරට එමින් පවතී. මෙම දෙවැනි පරම්පරාවේ ජෛව ඉන්ධන භාවිතය පාරිසරික වශයෙන් වාසිදායක නිසාත්, මිලදී ගැනීම පහසු නිසාත් තිරසාර සංවර්ධන මාවතේ එයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

බයෝ ඩීසල් (Biodiesel)…

බයෝඩීසල් යනු එළවළු තෙල් , සත්ව මේද සහ අපද්‍රව්‍ය, ඉවුම් පිහුම් තෙල් වැනි පුනර්ජනනීය ප්‍රභවයන් විසින් නිපදවන ද්‍රවමය ඉන්ධනයකි. එය කාබන් උදාසීන( carbon neutral) ලෙසද හැඳින්වේ. මක්නිසා ද යත්, ජෛව ඉන්ධන දහනය කිරීමෙන් පසු නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් වායුව එම බයෝඩීසල් නිපදවීම සදහා යොදා ගන්නා සෝයා , පාම්, සූරියකාන්ත වැනි ශාක මගින් අවශෝෂණය කරන හෙයිනි.

එක්සත් ජනපදයේ සහ ලෝකයේ සෙසු රටවල, බයෝඩීසෙල් යනු ඩීසල් එන්ජින්වල ඉන්ධනයක් ලෙසට පිළිගත් ඉන්ධනකි. ඩීසල් ඉන්ධන සමඟ මිශ්ර කිරීමෙන් හෝ වෙනස්කම් නොමැතිව තනි වශයෙන් හෝ ඩීසල් එන්ජින් වල ඉන්ධනයක් ලෙසට biodiesel  භාවිතා කරයි.

බයෝඩීසල් යනු හරිතාගාර වායුව විමෝචනය අවම කිරීමට උපකාරී වන පුනර්ජනනීය බලශක්ති ප්රභවයකි. එය සාම්ප්‍රදායික පෙට්රෝලියම් ඉන්ධනය සඳහා ආදේශකයක් ලෙස ද ආරක්ෂිත විකල්ප ඉන්ධනයක් ලෙස ද ක්‍රියා කරයි. බයෝඩීසල් යනු පිරිසිදු  ගෘහස්ථ හා පුනර්ජනනීය සම්පත් වලින් නිපදවනු ලබන විකල්ප ඉන්ධනයකි.

ඛනිජ තෙල් ඉන්ධන මගින් සිදුවන පාරිසරික බලපෑම ප්‍රධාන වශයෙන් ම ජෛව ඩීසල්  මගින් සිදු නොවන නිසාත් පාරිසරික වශයෙන් හිතකාමී නිසාත් එය භාවිතය තිරසාර සංවර්ධනය කෙරෙහි අත්වැලක් සපයයි.

බයෝඩීසල් 75%ක් පාහේ පෙට්‍රෝලියම් තෙල් වලට වඩා පිරිසිදු වේ, හේතුව නම්; එහි සල්ෆර් අඩංගු නොවන අතර, අවම කාබන් මොනොක්සයිඩ් හා අංශුමය අපද්‍රව්‍ය අඩංගු වේ. එමනිසා මෙය ඩීසල් එන්ජින් සහිත වාහනවලින් නිකුත් කරන කාබන් මොනොක්සයිඩ්, අංශුමය අපද්‍රව්‍ය, හයිඩ්‍රොකාබන සහ විෂ වායු ආදිය අවම කිරීමට ගත හැකි මනා පියවරකි.

බයෝඩීසල් නිපදවීම සදහා විවිධ අමුද්‍රව්‍ය රාශියක් භාවිතා කල හැකි අතර, සෝයා තෙල්, පාම් තෙල් වැනි එළවළු තෙල් වර්ගත්, සූරියකාන්ත තෙල්, අබ, හණ, කංසා ආදි වර්ගත් භාවිතා කල හැකි වේ.

බයෝඩීසල් නිපදවීම රසායනික ක්‍රියාවලියකි. මෙහි දී මෙම තෙල් හෝ මේද, සෝඩියම් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි රසායනික උත්ප්‍රේරකයක් ඇති විට දී, එතනෝල් හෝ මෙතනෝල් වැනි ඇල්කොහොලයක් සමග ප්‍රතික්‍රියා කරන අතර, එමගින් මීතයිල් හෝ ඊතයිල් එස්ටර්ස් එනම් බයෝඩීසල් නිපදවීම සිදු කරයි.

බයෝ එතනෝල් (Bio ethanol)…

එතනෝල් හෙවත් ඊතයිල් ඇල්කොහොල් යනු තලන ලද උක් ගස්, ඉරිගු, ධාන්‍ය වර්ග, සෙලියුලෝස් අඩංගු ද්‍රව්‍ය පල් කර නිපදවා ගන්නා ජෛව ඉන්ධනයකි. 

මෙය ද වාහනවල ඉන්ධන ප්‍රභවයක් ලෙස යොදා ගත හැක. එමගින් පෙට්‍රෝලියම් තෙල් භාවිතය අඩු කරන අතර, අහිතකර වායු නිකුත් වීම ද අවම කරයි.

බයෝ එතනෝල් නිපදවීම සදහා තණකොළ වැනි අමුද්‍රව්‍යක් භාවිතා කල හැකි නම්, එමගින් අමුද්‍රව්‍ය පිරිවැය ද අවම වන අතර, එය පාරිසරික වශයෙන් ද හිතකාමී වන බැවින් පර්‍යේෂකයන් ඒ පිලිබදව තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටී.

සීනී අඩංගු කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත ප්‍රාථමික කාණ්ඩයේ අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් බයෝ එතනෝල් නිපදවීම සදහා යොදා ගනී. උක්, උක් පැණි, බීට් අල හා පලතුරු ආදිය යීස්ට් නමැති දිලීරය යොදා ගනිමින් පල් කිරීමට ලක් කීරීමෙන් බයෝ එතනෝල් නිපදවයි.

නමුත් ලිග්නෝසෙලියුලෝස් අඩංගු ද්වීතියික කාණ්ඩයේ අමුද්‍රව්‍ය යොදා ගන්නේ නම්, එය ඇඹරීම, විජලනය, විෂාණුහරණය ආදි අත්‍යාවශ්‍ය පියවර කිහිපයක් ඔස්සේ සිදු කල යුතුම වේ.

ඇමරිකාව හා බ්‍රසීලය බයෝ එතනෝල් නිෂ්පාදනයේ ප්‍රමුඛතාව අත් කර ගන්නා අතර, 2016 වසර වන විට ලොව මුළු බයෝ එතනෝල් නිෂ්පාදනයෙන් 85%ක් ම එම රටවලින් මුළු සංචිතයට එක්ව ඇත.ඔවුන්ගේ මූලික භෝගය ලෙස ඉරිගු ඔවුන් බයෝ එතනෝල් නිපදවීම සදහා යොදා ගනී. ඉරිගු වල අධික ලෙස පිෂ්‍ටය අඩංගු වීමත්, ඉරිගු පහසුවෙන් වගා කල හැකි වීමත්, මුළු ඉරිගු ශාකයම භාවිතා කල හැකි වීමත් මේ සදහා හේතු කීපයක් වේ.

මෙය පහසුවෙන් සපයා ගත හැකි මූලද්‍රව්‍ය මගින් නිපදවිය හැකි නිසාත්, ඕනෑම රටකට පහසුවෙන් ම පවතින අමුද්‍රව්‍ය යොදා ගනිමින් බයෝ එතනෝල් නිෂ්පාදනය කල හැකි වේ. එය පොසිල ඉන්ධන මත පදනම් වීම අවම කිරීමට ද දායකත්වයක් ලබා දේ. එය පොසිල ඉන්ධන මෙන් නොව පාරිසරික වශයෙන් ද හිතකාමී වේ. පොසිල ඉන්ධන නිසා වාහනවලින් නිකුත් කරන අහිතකර විෂ වායු නිපදවීමක් නොවීම ද මෙහි වාසියකි.

එතනෝල් ඉන්ධනයක් බවට පත් කිරීම සදහා එය පෙට්‍රල් සමග 85:15 අනුපාතයෙන් මිශ්‍ර කිරීම කරයි. මෙහි දී පෙට්‍රල් උත්ප්‍රේරකයක් ලෙසට ක්‍රියා කරයි. එතනෝල් දහනයේ දී සුලු ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පරිසරයට නිකුත් වුවද, එය පෙට්‍රල් සමග මිශ්‍ර කිරීමෙන් එම නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය අවම කර ගත හැකි වේ. එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැලැක්වීමට ගත හැකි පියවරකි.

බයෝ ගෑස්( biogas)…

බයෝ ගෑස් යනු අභ්‍යන්තර දහන එන්ජින්වල භාවිතා කරන ඉතා පිරිසිදු ඉන්ධන ප්‍රභවයකි.එය විශේෂයෙන්ම වාහන ධාවනය සදහා යොදා ගන්නා පෙට්‍රෝලියම් තෙල් වෙනුවට ද්වීතියික ආදේශකයක් ලෙසට භාවිතා කල හැකි වේ.

බයෝ ගෑස් නිපදවීම සදහා කුකුල්, ගව හා ඌරු වැනි සත්ත්ව පොහොර ද, වායුමය ජල පිරිවහනයේ දී නිපදවෙන ගොහොරුමය අපද්‍රව්‍ය සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය ද යොදා ගත හැකිය.එම අපද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලි පද්ධතියකට ලක් කීරීමෙන් බයෝ ගෑස් නිපදවීම සිදු වේ.මේදය අඩංගු අමුද්‍රව්‍ය භාවිතය මගින් වැඩි ප්‍රමාණයක බයෝ ගෑස් ප්‍රමාණයක් නිපදවා ගත හැකි වේ.

නිපදවීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අනුව නිපදවෙන බයෝ ගෑස් හි සංයුතිය ද මදින් මද වෙනස් වේ. ප්‍රධාන වශයෙන් මේතේන්(60-80%), කාබන් ඩයොක්සයිඩ්(20-40%), හයිඩ්‍රජන් සල්ෆයිඩ් ද සුළු වශයෙන් නයිට්‍රජන් ප්‍රමාණයක් ද එහි අන්තර්ගත වේ.

පරිසර හිතකාමී, වාණිජමය නොවන , මිල අධික නොවන, බලශක්ති ප්‍රභවයක් වීමත්, හරිතාගාර වායු නිකුත් වීම අවම මට්ටමේ ඇති බැවින් හානිකර බලපෑම් සිදු නොවීමත්, නිපදවීම සිදු කිරීමට කරන දහනයේ දී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායකත්වයක් දීමට තරම් ඉහළ අගයක දහනයක් සිදු නොවීමත්, බයෝ ගෑස් නිපදවීමෙන් පසු ඉතිරි වන දැවුණු ශේෂ කොටස් වගා සදහා පොහොර වශයෙන් යොදා ගත හැකි වීමත්, බයෝ ගෑස් නිපදවීමට භාවිතා කරන තාක්ෂණය එතරම් මිල අධික නොවීමත් යන හේතු කාරණා කීපයක් නිසා ම බයෝ ගෑස් භාවිතය වාසිදායක වේ.

හයිඩ්‍රජන් (Hydrogen)…

හයිඩ්රජන් අනාගතයේ ඉන්ධනය ලෙසට දැනට බොහෝ දෙනෙකු මත පල කරනු ලැබේ. සාම්ප්‍රදායික ඉන්ධනයන්ට වඩා හයිඩ්‍රජන් සතුව බොහෝ වාසි ඇත. එය හිගයකින් තොරව නිරතුරුව ම පාහේ ලබා ගත හැකි  වාණිජ නොවන බලශක්ති ප්‍රභවයකි.

හයිඩ්‍රජන් ප්‍රවාහන අංශය සදහා භාවිතා කල හැකි අතර, එහිදී අපද්‍රව්‍යයක් ලෙස ජලය සහ සුළු ප්‍රමාණයක නයිට්‍රජන් ඔක්සයිඩ් ප්‍රමාණයක් නිකුත් කරන නමුත් එය ද හයිඩ්‍රජන් කෝෂ( Hydrogen Cells) යොදා ඉවත් කිරීම කල හැකි වේ.

  මේ වන විට ලෝක හයිඩ්‍රජන්  නිෂ්පාදනය වාර්ෂිකව ආසන්න වශයෙන් මෙට්රික් ටොන් 38 ක් වන අතර, මෙට්රික් ටොන් 3.4 ක් පමණ නිපදවීම සදහා කැනඩාව දායකත්වය ලබා දෙනු ලැබේ.

හයිඩ්රජන් ප්‍රධාන වශයෙන් නිපදවන විට දී මෙම ක්‍රියාවලීන්ගෙන්, ඉතා කුඩා හයිඩ්‍රජන් ප්‍රමාණයක් ඉන්ධන ස්වරූපයෙන් භාවිතා වන අතර, ඉතිරි කොටස ඉන්ධන තෙල් නිපදවීම, තෙල් පිරිපහදු කිරීම හා මෙතනෝල් නිෂ්පාදනය කිරීම සදහා භාවිතා වේ.

හයිඩ්රජන් නිපදවීම සදහා විවිධ ක්‍රම  භාවිතා කරයි.

  1. විද්යුත් විච්ඡේදනය: ජලය විද්යුත් විච්ඡේදනයට ලක් කල විට, එහි ඉලෙක්ට්‍රෝඩ අසල දී වෙන වෙන ම ඔක්සිජන් සහ හයිඩ්‍රජන් ලබා ගත හැකි වේ. මෙම තාක්ෂණය භාවිතා කොට සූර්ය ශක්තිය හෝ සුළං ශක්තිය වැනි පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් භාවිතයෙන් හයිඩ්‍රජන් නිපදවීම සිදු කිරීම කල හැකිවේ. 

2.ජෛව ස්කන්ධ වායුකරණය (Biomass Gasification ): මෙය විශාල පරිමාණයෙන් සිදු කල හැකි ක්‍රියාවලියකි. මෙහි අතුරුඵලයක් ලෙසට උසස් ගණයේ කාබන් නිපදවීම වේ.

3.ජල තාප වියෝජන ක්‍රියාවලිය: මෙහි දී ජලය තාප වියෝජනයට ලක් කර හයිඩ්‍රජන් හා ඔක්සිජන් නිපදවීම  සදහා සෙල්සියස් අංශක 20,000ක් වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය වේ. කෙසේ වුවද ඇතැම් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7,000කට පමණ අවම කර ගත හැකිය. නමුත් මෙම තාක්ෂණය එතරම් වාණිජමය වශයෙන් ප්‍රසිද්ධ නැත.

මෙලෙස හයිඩ්‍රජන් නිපදවන තාක්ෂණයන් කීපයක් ම ඇති අතර, ඇතැම් ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.

හයිඩ්‍රජන් 1kg ප්‍රමාණයක් දහනය කිරීම මගින්,  ජලය නිපදවීම වන්නේ ජල වාෂ්ප ලෙසට යැයි සැලකූ කල, 120MJ ප්‍රමාණයක් ශක්තිය නිපදවීම සිදු වේ. මේ ශක්ති ප්‍රමාණය එක් පෙට්‍රල් හො ඩීසල් ඒකකයක් මගින් නිෂ්පාදනය වන ශක්තිය මෙන් තෙගුණයකි.

තිරසාර සංවර්ධනය වෙනුවෙන් විකල්ප ඉන්ධනවල දායකත්වය…

හරිත සංවර්ධනයක් වෙතට. https://unsplash.com/photos/pZX9QPxeIQc

පවතින සම්පත් මනා කළමනාකාරීත්වයකින් යුතුව වත්මන් අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගනිමින් අනාගත මතු පරපුර වෙනුවෙන් ද සම්පත් ඉතිරි කර ගැනීම තිරසාර සංවර්ධනය ලෙස කෙටියෙන් හැදින්විය හැකිය. 

ජෛව ඉන්ධන ස්වාභාවික පොසිල  ඉන්ධන සඳහා විකල්ප වන අතර, ඒවා කෘෂිකාර්මික හා සත්ත්ව හෝ වෙනත් අපද්‍රව්‍ය වැනි ජෛව ස්කන්ධයන්ගෙන් නිපදවයි.  මේ ඉන්ධන සාම්ප්‍රදායික පොසිල  ඉන්ධන වලට වඩා පිරිසිදු වන අතර ම, එය පරිසර හිතකාමී වශයෙන් ද ඉදිරියෙන් සිටී.

පොසිල ඉන්ධනවල වැඩි වන මිල ගැටලුවලට කදිම පිලිතුරක් ලෙසට ජෛව ඉන්ධන සැලකිය හැකිය. ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල, විවිධ වර්ගවල අමු ජෛව අපද්‍රව්‍ය පහසුවෙන් ම සොයා ගත හැකි ආතර, ඒවා පහසුවෙන් ම  බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කල හැක.

මෑතකදී සිට අපද්‍රව්‍යවලින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කෙරෙහි උනන්දුවක් ඇති වී තිබේ.

පුනර්ජනනීය නොවන බලශක්ති සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීම ස්වභාවික සම්පත් විනාශ වීමට ද හේතු වන අතර මෙම සාම්ප්‍රදායික පොසිල  ඉන්ධන දහනය මගින් හරිතාගාර වායු පරිමාව ද වැඩි කරයි. එය ලොව පුරා ඉතා බරපතල ගැටළුවක් බවට පත් වී ඇත. විකල්ප ඉන්ධන ෆොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු කරන අතර තිරසාර බව ද ප්‍රවර්ධනය කරයි. ජෛව ඩීසල් සහ ජෛව එතනෝල් වැනි ජෛව ඉන්ධන ස්වභාවයෙන්ම පරිසර හිතකාමී වේ.

මක්නිසාද යත් ඒවා ජෛව ස්කන්ධ භාවිතයෙන්  නිපදවන අතර පහසුවෙන් ම ජෛව හායනයට ද ලක්විය හැකි බැවිනි. 

විකල්ප ඉන්ධන ප්‍රභවයන් නිපදවීමේ දී රටක සම්පත් මනා කළමනාකරණයක් සහිත ව ප්‍රයෝජනයට ගැනීමෙන් හා එය දේශීය වශයෙන් සංවර්ධනය කිරීමෙන් රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීමට දායකත්වය සපයයි. විකල්ප පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන්, මෙම ප්‍රභවයන්ගේ නිසි භාවිතය මගින් බලශක්ති භාවිතයේ පාරිසරික බලපෑම අඩු කර තිරසාරත්වය අත්කර ගැනීමට ද දායක වේ. වාණිජමය නොවන ඉන්ධන ප්‍රභවයන් මේ වනවිට ලොව බොහෝ ඇති අතර, ඒවා දැන් ජාතික හා ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොලේ නිසි අවධානය හා ස්ථානය අත්පත් කර ගනිමින් සිටී.

ආශ්‍රිත මූලාශ්‍ර  ;

World Energy Resources, Full report(2016), https://www.worldenergy.org/

Bhan, Chandra & Verma, Lata & Singh, Dr. Jiwan. (2020). Alternative Fuels for Sustainable Development. 10.1007/978-981-13-5889-0_16.

A Kleinová, Z Cvengrošová, J Rimarčík, E Buzetzki, J Mikulec, J Cvengroš,2012, biofuels from algae. Procedia Engineering,  42,pp. 231-238.
Featured Image: Sam LaRussa, https://unsplash.com/@blueshift12
current_&_future_enagry_soruces සංවාදයට ඔබත් සහභාගී වී තෑගි දින ගන්න  

SEO SCORE %

70 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.27

Visitors liked the post